හුංගම පොලිස් සිර මැදිරිය තුළ මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (වීඩියෝ)
හුංගම පොලිස් සිර මැදිරිය තුළ මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) හම්බන්තොට මහ රෝහලේදී සිදු කිරීමට නියමිතයි.
පසලොස්වක පොහොය දිනය යෙදුණු ඊයේ දිනයේ දහවල් කාලයේදී හුංගම පොලිස් වසමේ රන්න නගරයේ හෝටලයක බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිකරණ බවට ලැබුණු තොරතුරක් මත පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හුංගම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටියදී එකවර තිබූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බිම ඇද වැටී ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සිර මැදිරිය තුළ ඇද වැටෙන ආකාරය CCTV කැමරාවක ද සටහන්ව තිබුණා.
පොලිසිය විසින් සැකකරු රන්න රෝහල වෙත ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61 පුද්ගලයෙක්.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් රන්න රෝහල අසලට පැමිණ සිය විරෝධය පළ කළා.
පොලිසිය සිදුකළ පහරදීමකින් ඔහු මියගිය බවටයි විරෝධතාකරුවන් චෝදනා කළේ.
පසුව ඔවුන් රනන් නගරයට පැමිණ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.
එම ස්ථානයට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයා සිද්ධිය පිළිබඳ පූර්ණ පරීකෂණයක් සිදුකරන බවට ලබාදුන් පොරොන්දුවත් සමඟ විරෝධතාකරුවන් විසිර ගියා.
මේ අතර, අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත්තුමිය පැමිණ මහේස්ත්‍රාත් පරීකෂණය සිදුකරනු ලැබුවා.
මහින්ද අමරවීර අමාත්‍යවරයා ද ඊයේ (18) රාත්‍රි රන්න රෝහල වෙත පැමිණියා.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීකෂණය සිදුකිරීම සඳහා ඔහුගේ දේහය ඊයේ හම්බන්තොට රෝහල වෙත රැගෙන ගියා.
මේ අතර, රන්න නගරය පුරා අද (19) සුදුකොඩි සහ කළුකොඩි ඔසවා තිබුණා.