හෙද විදුහල්වල සහ හෙද විදුහල්පතිවරුන්ගේ වෘත්තිය ගැටළු රැසකට විසඳුම් දීමට ඇමති පොරොන්දුවක්

හෙද විදුහල්වල සහ හෙද විදුහල්පතිවරුන්ගේ වෘත්තිය ගැටළු රැසකට විසඳුම් දීමට ඇමති පොරොන්දුවක්

හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සහ හෙද විදුහල්පතිවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

දිවයින පුරා පිහිටි හෙද විදුහල් 17 ක් නියෝජනය කරමින් හෙද විදුහල්පතිවරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටි‍යා.

මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්වී ඇත්තේ හෙද විදුහල්වල ආචාර්යවරුන්ගේ හිඟය, හෙද විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යවරුන් සදහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාගැනීම, විභාග පරීක්ෂණ ගාස්තු සංශෝධනය, හෙද විදුහල්පතිවරුන් සඳහා ලබාදෙනු ලබන දීමනා ඉහළ නැංවීම, සුදුසු වැටුප් තලයක පිහිටුවීම, හෙද විදුහල්වල අභ්‍යන්තර පහසුකම් සහ භෞතික සම්පත් ඉහළ නැංවීම, මානව සම්පත ශක්තිමත් කිරීම ඇතුළු කරුණුයි.

මෙරට හෙද විදුහල් 17 ක් වන අතර, එම හෙද විදුහල්වල දැනට හෙද ආචාර්යවරුන් 216 ක් මෙන්ම පුහුණුව ලබන සිසුන් 5000 සිටිනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන දෙසැම්බර් මාසයේ තවත් සිසුන් 2,650 ක් බඳවා ගැනීමට නියමිත බවයි.

හෙද විදුහල්පතිවරුන්ගේ රාජකාරි කටයුතු අධික බැවින් දැනට සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන් පෙන්වා දී ඇත්තේ අනුමත හෙද ආචාර්යවරුන් ප්‍රමාණය 395 ක් බවත්, ඒ අනුව තවත් හෙද ආචාර්යවරුන් 175 ක අවශ්‍යතාවයක් පවතින බවයි.

ඒ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා නතර කර ඇති හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරමිභ කර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස් වෙනුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී පොරොන්දු වී ඇත්තේ හෙද විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යවරුන් සදහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාගැනීම පිළිබඳව හෙද විදුහල්පතිවරුන් කරුණු පෙන්වා දෙන ලද අතර, ලබන වසරේ ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් කේන්ද්‍ර කර ගනිමින් උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට කටයුතු සිදු කරන බවයි.

විභාග පරීක්ෂණ ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ අවධානය යොමු කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අනුමැතීන් යටතේ සුදුසු දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

හෙද විදුහල්පතිවරුන් සඳහා 2000 වර්ෂයේ සිට ලබාදෙනු ලබන රුපියල් 1,500 දීමනාව ඉහළ නැංවීමෙි අවශ්‍යතාවය ද හෙද විදුහල්පතිවරුන් පෙන්වා දෙන ලද අතර, අමාත්‍යවරයා ඒ පිළිබඳව ද ඉදිරියේ දී අවධානය යොමු කරන බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හෙද විදුහල්වල නිවාස පාලිකා වෘත්තියට අදාළ බඳවා ගැනීම් ලබන ජනවාරි මස සිදු කරන බවත්, සුළු සේවක කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දී තිබෙනවා.

හෙද විදුහල්වල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බවට ද අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.

Share This