ළමුන් 66දෙනාගේ මරණ සම්බන්ධයෙන් ගැම්බියාවේත් පරීක්ෂණ ඇරඹේ

ළමුන් 66දෙනාගේ මරණ සම්බන්ධයෙන් ගැම්බියාවේත් පරීක්ෂණ ඇරඹේ

ආනයනික ඉන්දියානු කැස්ස සිරප් වර්ග හතරක් නිසා සිදුවූවා යැයි සැකකෙරෙන ළමුන් 66 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් ගැම්බියාවේ පොලිසිය පරීක්ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉන්දියානු ඖෂධ පාලන නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආනයනකරුවන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවයි එරට ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබෙන්නේ

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම කැස්ස සිරප් හතර සම්බන්ධයෙන් ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඒවා උග්‍ර වකුගඩු තුවාල ඇති කරන බවට පවසා සිටියා

එමෙන්ම මෙම කැස්ස සිරප් හතර ගැම්බියාවේ ජූලි,අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සිදුවූ ළමුන්ගේ මරණවලට සම්බන්ධ විය හැකි බවට අනතුරු අඟවා සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

මෙම කැස්ස සිරප් හතර නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියානු සමාගමක් විසින් වන අතර ඒවායේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දීමට අපොහොසත් වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙනවා.

ගැම්බියානු සෞඛ්‍ය නිලධාරීන් සහ රතු කුරුස සේවකයින් ගෙයින් ගෙට මෙන්ම ෆාමසි සහ වෙළඳපලවලට ගොස් ඉන්දියානු සමාගමෙන් නිකුත් කළ සිරප් සහ වෙනත් ඖෂධ සොයමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර නිෂ්පාදන 16,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ස්ථානගත කර ඇති අතර ඒවා විනාශ කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව රතු කුරුස නිලධාරියෙක් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා

ගැම්බියාවට කැස්ස සිරප් ආනයනය කළ සැකකාර ආනයනකරුගේ බලපත්‍රය අත්හිටුවා පොලිස් පරීක්ෂණ ආරම්භ කරන ලෙස එරට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ඉන්දියානු සමාගමේ නිෂ්පාදන ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් හතළිස් දෙකකට පමණ අපනයනය කරන බව එම සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා

Share This