19න් පහළ කණ්ඩායම ජූනි සහ ජූලි එංගලන්ත තරග සංචාරයක

19න් පහළ කණ්ඩායම ජූනි සහ ජූලි එංගලන්ත තරග සංචාරයක

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ජූනි සහ ජූලි මාසවලදී එංගලන්ත තරග සංචාරයකට එක්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

අදාළ තරග සංචාරය සඳහා එක්දින තරග 3ක් සහ සිව්දින ක්‍රිකට් තරග දෙකක් ඇතුළත් වන බව සඳහන්.

පළමු එක්දින තරගය ජූනි මස 28 වැනිදා චෙම්ස්ෆීල්ඩ්හි කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

දෙවැනි තරගය ජූලි මස 1 වැනිදා සහ තෙවැනි තරගය ජූලි මස 3 වැනිදා, දිවා තරග ලෙසින් පැවැත්වීමට නියමිතායි.

එංගලන්ත යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පළමු සිව්දින තරගය ජූලි මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වා වෝර්ම්ස්ලිහිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය ජූලි 16 සිට 19 දක්වා චෙල්ටනම්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම තරගවලට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පුහුණු එක්දින තරගයක් සඳහාද එක් වීමට නියමිතයි.

එම තරගය ජූනි මස 25 වැනිදා ලොක්බර්ග් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This