2023/2024 උසස් පෙළ සමත් ඌව පළාතේ සිසු සිසුවියන්ට 240 කට මුදල් ආධාර

2023/2024 උසස් පෙළ සමත් ඌව පළාතේ සිසු සිසුවියන්ට 240 කට මුදල් ආධාර

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්ට 240 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම ඊයේ (02) සිදු කෙරුණා.

මෙම ඇගයීමේ ඌව පළාත් වැඩසටහන බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත් වුණේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 ක්.

මෙහිදී අදහස් දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා ” අධ්‍යාපනයෙන් උගතෙක් වෙලා ප්‍රඥාවන්තයෙක් වෙනවාට අපි කැමතියි. ප්‍රඥාවන්තයා කවදාවත් පරමාණු බෝම්බයක් හදන්නේ නැහැ. උගතෙක් වී වංචා කරනවා නම් උගත්කමෙහි වටිනාකමක් නැහැ. එතැන තිබෙන්නේ ප්‍රඥාවන්තකම නොව උගත්කම පමණයි. ඒ නිසා ඔබගේ උගත්කම රටට ඔබින ලෙස යොදාගතහොත් එවිට ඔබගේ දෙමාපියන් ඔබ උස් මහත් කිරීමට ලබාදුන් පෝෂ්‍යදායී බත් කටට සාධාරණයක් ඉටු වෙනවා” යැයි පැවසුවා.

මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීම පිළිබඳව විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඌව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, නීතිඥ සරත් කුමාර, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේරත්න, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. ජී. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Share This