2024 දී ළමුන් 20,000 ක ගේ අධ්‍යාපනය අතරමග නැවතිලා – 80,000 ක් දරුවන් නියමිත ලෙස පාසලට පැමිණ නෑ

2024 දී ළමුන් 20,000 ක ගේ අධ්‍යාපනය අතරමග නැවතිලා – 80,000 ක් දරුවන් නියමිත ලෙස පාසලට පැමිණ නෑ

ලබන වසර තුළ 1 වසරට සහ 6 වසරට පමණක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හදුන්වා දෙන බැවින් මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙන බවත් , ගුරුවරයා කතාකරමින් දරුවන් අසා සිටින සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලියේ සිට විනාඩි 50 කාලපරිච්ඡේද විවේචනය නොකරන ලෙසත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉල්ලා සිටිනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සබරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (26) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ පවතින අධ්‍යාපන ක්‍රමය සියයට සියයක් වැරදි යැයි නොපවසන බවත්, ඒ තුලින් විශිෂ්ඨයන් බිහි වූ බවයි.
කෙසේ නමුත් වසරකට දරුවන් විශාල ප්‍රමාණයක් අතර මගින් නතර වන බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මෙතෙක් පැවති විෂය මාලා සංවර්ධනයට එහා ගිය සමස්ත ව්‍යුහයම ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කරන බව ඇය පැවසුවා.

ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පෙන්වා දෙන්නේ සබරගමුව පළාතේ දරුවන් 10ට අඩු පාසල් ඇති බවයි. ඇතැම් පාසල්වල එක ගුරුවරයෙකුට සිටින්නේ ළමයි 5 දෙනකු බවත් , මේ තත්ත්වය නිවැරදි විය යුතු බවත් ඇය පෙන්වා දුන්නා.

ජාතික සහ පලාත් පාසල් අතර ගුරු මාරුව පිළිබඳව මේ වනවිට අමාත්‍යංශය සාකච්ඡා කරමින් පවතින බවත් ඉදිරියේදී ඒ පිළිබඳ තිරණයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

2024 අධ්‍යාපන අමාත්‍යංශය කළ සංගණනයකින් ළමුන් 20,000ක් අධ්‍යාපනයෙන් අතරගම නතර වී ඇති බවත් , අදටත් ඒ දරුවන්ට සිදුවූයේ කුමක්දැ‍යි කිසිදු තොරතුරක් නැති බවත් අග්‍රාමාත්‍යවරිය සදහන් කළා.

එමෙන්ම 80,000 ක් දරුවන් නියමිත ලෙස පාසලට පැමිණ නැති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනවා,

මේ වන විට අධ්‍යාපන පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සුළු පිරිසකගේ කැපවීම මත හෝ පුද්ගලයෙක් මත බව ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පෙන්වා දෙන අතර පද්ධතියක් ලෙස එය ශක්තිමත්ව පැවතිය යුතු බව ඇගේ අදහසයි.

මේ වනවිට කාලපරිච්ඡේදය විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීම ගැන යම් විවාදයක් මතු කරමින් තිබෙන නමුත්, සාම්ප්‍රදායික ඉගෙන්වීම් ක්‍රියාවලියේ සිට මේ කාලය තීරණය නොකරන ලෙසද ඇය ඉල්ලා සිටියා.

අග්‍රාමාත්‍යවරිය පැවසුවේ නව ප්‍රතිසංස්කරණ යනු ගුරුවරු කතා කරන දරුවන් අසා සිටින ක්‍රමයක් නොවන බවයි. එය ප්‍රායෝගිකව දරුවන් සහභාගී කරවන ක්‍රමවේදයක් බව ඇය එහිදී පැහැදිළි කළා.

Share This