2025 මෙරට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ වසරයි – ජනපති    (VIDEO)

2025 මෙරට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ වසරයි – ජනපති (VIDEO)

ශ්‍රී ලංකාව අද ශක්තිමත් පදනමක් ඇති ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගෙමින් තිබෙන බවත්, 2025 වසර මෙරට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් මෙන්ම නීතියේ ආධිපත්‍යය යන සියලු ක්ෂේත්‍රවල සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ වසර බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ එක් වෙමිනි.

ඒ අනුව, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ වැඩ නැවතුණු කඩවත – මීරිගම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කෙරුණු අතර, කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම්ද අලුතින් ආරම්භ කෙරේ. මෙම මීටර් 500ක මාර්ග කොටස මගින් මධ්‍යම අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කෙරේ. මෙම කොටසේ ඉදිකිරීම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 8.692ක් වන අතර, සම්පුර්ණයෙන් දේශීය අරමුදල් මේ සඳහා යොදා ගැනේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වන අතර, ඒ සඳහා සම්පුර්ණයෙන් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 229.532කි. ඒ සඳහා දේශීය අරමුදල් මෙන්ම චීන රජයේ සහන ණය මුදලක්ද යොදා ගැනේ. 2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ආර්ථික කඩාවැටීමකින් පසු රටකට දශකයක් අහිමි වන නමුත් එම දශකයට අඩු හෝ ඇතැම්විට හරි අඩකින් මෙම තත්ත්වය වෙනස් කිරීමට වත්මන් රජය කැප වී සිටින බවත්ය. අද ආරම්භ වූ මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් එහි සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නියමිත කාලයට, එක් දිනකින්වත් ප්‍රමාද නොකර එහි වැඩ නිම කිරීමට කැපවන ලෙසද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

රටක ආර්ථික සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා කළ නොහැකි බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙරට ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් රජය බහුවිධ මානයන් ඔස්සේ කටයුතු කරමින් සිටින බවද පැවසීය. එහිදී නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සියලු දෙනා නීතිය යටතට ගෙන ඒම, සන්නද්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත්වීම, දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබෙන අල්ලස සහ දූෂණය නැති කිරීම මෙන්ම, නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය වැටුප් වැඩිකිරීම සහ පහසුකම් ලබා දීම ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සුවිශේෂී වර්ධනයන් අත්පත් කරගෙන තිබෙන බවද සඳහන් කළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

විශේෂයෙන්ම අපි දන්නවා මීට වසර කිහිපයකට පෙර අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. ඒ හමුවේ සමස්ත ආර්ථිකයත්, ජන ජීවිතයත් කඩා වැටීමකට ලක් වුණා. එවැනි ආර්ථික කඩා වැටීමකින් පසු අහිමි දශකයක් රටකට තිබෙනවා. එය දශකයකට අඩු, ඇතැම් විට හරි අඩකින් වෙනස් කිරීමට අපේ රජය අපේක්ෂා කරනවා. 2025 වසරේ අයවැය සකස් කර තිබෙන්නේ මෙම ආර්ථික අර්බුදය අවසන් කර ගැනීමේ ඉලක්කය ඇතිවයි.

මේ අහිමි දශකය විසින් දිගුකාලීන අර්බුද නිර්මාණය කරනවා. එහි කැඩපතක් ලෙස මෙම අධිවේගී මාර්ග කොටස සඳහන් කළ හැකියි. මේ ආර්ථික කඩා වැටීම විසින් ඇති කරන ලද අර්බුදයේ ප්‍රමාණය සහ දිශාව මෙවැනි ව්‍යාපෘතිවලින් හඳුනාගත හැකියි. පසුගිය ජනවාරි මාසයේ සිදු කළ චීන සංචාරයේදී මම චීන ජනාධිපතිවරයාගෙන්, චීන ආධාර යටතේ අපේ රටේ ක්‍රියාත්මක ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට සහාය ලබා දෙන්න කියා ඉල්ලා සිටියා. එතුමා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර එම සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට එකඟතාව පළ කළා. ඒ පිළිබඳ අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙම අධිවේගී මාර්ග කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන්න කියා අපි ඉල්ලා සිටියා, ඒ අනුව ඩොලර්වලින් විශේෂ ණය යෝජනා ක්‍රම නැති නිසා යුවාන්වලින් එම ණය යෝජනා ක්‍රමය ලබා දිය හැකි බව අපිට දැනුම් දුන්නා. ඒ අනුව සියයට 2.5 – 3.5 අතර පොලී අනුපාතයකට මෙම ණය මුදල අපිට ලබා දීමට චීන එක්සීම් බැංකුව කැමැත්ත පළ කර තිබෙනවා. අපි ඒ පිළිබඳ අපේ විශේෂ ස්තූතිය පළ කරනවා.

රටේ ආර්ථිකයට යළි පණ පොවන්නේ කෙසේද කියා අපි හොඳින් සාකච්ඡා කළ යුතුයි. ආර්ථිකයට පණ පෙවීම ගැන සාකච්ඡා කරන විට මේ අර්බුදය නිර්මාණය වූයේ කෙසේද යන්න පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. 2022 – 2023 ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද සමාජ ඛේදවාචකය ඕපපාතිකව නිර්මාණය වූවක් නොවෙයි. ඒ සමඟ බැඳුණු විශාල සාධක සහ කරුණු ගණනාවක් තිබෙනවා. අපේ පරම්පරාව එම ආර්ථික බිඳ වැටීම අත්දුටුවා. පෝලිම්වල ජනතාව මිය යාම, සමාජ දේහයේ කඩාවැටීම් අපි අත්දැක තිබෙනවා. ඒ සමාජ ඛේදවාචකයේ උරුමකරුවන් බවට පත්ව තිබෙනවා. යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන පරිදි මේ රට ගොඩනැඟීමට අපි සූදානම් කියන සහතිකය මම ජනතාවට ලබා දෙනවා.

ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නැහැ. ආර්ථික සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් කේන්ද්‍ර කර ගැනීමට පසුගිය කාලයේ උත්සාහ කළා. ආර්ථිකයක් සහ සමාජයක් ස්ථාවරත්වයට පත් කිරිම සඳහා යටිතල පහසුකම් එක් අංගයක් පමණයි. හැබැයි, එම අංගය පමණක් තිබෙනවා නම් එය අබ්බගාත ස්වභාවයක්. ඒ නිසා අපේ රටේ තිබුණේ අබ්බගාත සංවර්ධන උපායමාර්ගයක්.

ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය වන්නේ නැහැ. ඒ වෙනුවෙන් තවත් පැති ගණනාවකින් කරුණු සම්පූර්ණ විය යුතුයි. ඒ නිසා අපේ රජය මේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරන්නේ බහුවිධ පැතිමාන ගණනාවකින්. යටිතල පහසුකම් එහි එක් කොටසක්. ඒ හා සමාන වැදගත් වැඩ කොටස් ගණනාවක් තිබෙනවා.

මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් චීන රජය ප්‍රමුඛ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය ආදී සියලු ආයතන වෙතත්, ඒ සඳහා කැපවූ සියලුදෙනා වෙතත් මම ස්තූතිවන්ත වෙනවා. රජයක් ලෙස ඔබට ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දෙන්නම්, දිනක්වත් ප්‍රමාද කරන්නේ නැතිව මෙම ව්‍යාපෘතිය නිමකර ජාතියට ලබා දීමට දායක වන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති තුමා පැවසුවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) මහතා සහ ජනාධිපතිතුමා අතර මෙහිදී සුහද කතා බහක්ද සිදුවුණා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) මහතා ඇතුළු චීන රජයේ නියෝජිතයෝද, මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Share This