
2025 ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ සමානතාවයේ පසු බෑමක් – එක්සත් ජාතීන්ගේ කාන්තාවන් වැඩසටහන පවසයි
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් (UN Women) වැඩසටහන මගින් සිදු කළ පරීක්ෂණයේ ප්‍රධාන සොයාගැනීම් සහ නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී එම වැඩසටහනේ නියෝජිත පිරිස අදාළ පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් කාන්තා ආර්ථික සවිබල ගැන්වීම, පාලනය සහ තීරණ ගැනීමේදී කාන්තා නායකත්වය, කාන්තාවන් සාමය සහ ආරක්ෂාව, කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය වැළැක්වීම යන අංශ වලට මුලික අවධානය යොමුකරමින් සිදුකළ බව පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ කාන්තාවන් (UN Women) වැඩසටහන දැනුම් දී ඇත්තේ ගෝලීය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානතාවයේ පසුබෑමක් මතුව ඇති බවට හඳුනාගත හැකිවූ බවයි.
2006 දී ශ්‍රී ලංකාව රටවල් 115 කින් 18 වැනි ස්ථානයේ සිටි නමුත් 2025 දී ශ්‍රී ලංකාව රටවල් 148 කින් 130 වැනි ස්ථානයේ පසුවන බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
එම නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ කලාපයේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගෙන් ඇතැමකු කාන්තාවන් නමුත් පුරුෂයින් සමඟ සැසදීමේදී සැලකිය යුතු අසමානතාවයක් හඳුනාගෙන ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරිය මෙම පර්යේෂණයේ අඩංගු කරුණු වැදගත්වන බැවින් එම පර්යේෂණයට අදාළ අවසන් වාර්තාව සංසදයට යොමු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ඉදිරි අයවැය සකස් කිරීමේදී කාන්තාවන් බලගැන්වීම උදෙසා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීමට අමතරව සෑම අමාත්‍යාංශයකටම ඔවුන්ගේ විෂයපථය තුළ කාන්තාවන් බලගැන්වීම උදෙසා මුදල් වෙන්කිරීමට තමන් යෝජනා කළ බව සංසදයේ සභාපතිවරිය වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.
තවද ප්රජාතන්ත්රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඔස්සේ පළාත්පාලන ආයතනවල සිට ජනාධිපතිධුර තෙක් මෙරට කාන්තාවන් පැමිණි ගමන්මගේ ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අභියෝග හා ධුරයට පැමිණීමෙන් පසු මුහුණ පෑමට සිදුවන අභියෝග පිළිබඳව අධ්‍යනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවද එක්සත් ජාතීන්ගේ කාන්තාවන් වැඩසටහනේ සභාපතිවරිය පවසා තිබෙනවා.
පළාත් පාලන, පළාත් සභා සහ ජාතික මට්ටමින් දේශපාලනය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) සමඟ ද මෙදින රැස්වීමේදී සාකච්ඡාවක් පවත්වා තිබනවා.
එහිදී එම පදනමේ නියෝජිත පිරිස දන්වා ඇත්තේ ඔවුන්ගේ කාර්යභාරය පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ කාන්තාව සවිබලගැන්වීම සඳහාවූ පදනමේ දායකත්වය ලබාදිය හැකි බවයි.
ඒ අනුව එම යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලෙස සභාපතිවරිය පැවසා තිබෙනවා.