
2030 දී තේ නිෂ්පාදන ඉලක්කය අගමැතිනිය පැහැදිළි කරයි
2030 වන විට සකස් කළ තේ කිලෝ ග්‍රෑම් මිලියන 400 ක ඉලක්කයක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අපනයන ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද (10) පැවති ජාතික තේ සම්මන්ත්‍රණයේ (InTSym100) සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළා.
1925 දී එය පිහිටුවා වසර 100 ක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය (TRISL) මේ වසරේදී ජාතියට සිදු කළ සිය විද්‍යාත්මක සේවාවන්හි සියවසක ආවර්ජනය සමරනු ලබනවා.
ඊට සමගාමීව “පරිපූර්ණ තේ කෝප්පයක්: නවෝත්පාදනය, තිරසාරභාවය සහ ජීවන රටා එකට මුසු කිරීම” (Perfect Sip: Bridging Innovations, Sustainability and Lifestyles) යන තේමාව යටතේ අද සහ හෙට (10 -11) දිනවල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අන්තර්ජාතික තේ විද්‍යා සම්මන්ත්‍රණය 2025 සංවිධානය කළා.
ගෝලීය වශයෙන් විද්‍යාඥයින්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත නායකයින් එක්රැස් වී දැනුම බෙදා ගැනීම, නවෝත්පාදන ගවේෂණය කිරීම සහ සහයෝගීතා පර්යේෂණ හා සංවර්ධනය තුළින් තේ කර්මාන්තයේ අනාගතය සකස් කිරීම මෙහි අරමුණයි.
මෙම අවස්ථාවේ දී නව තේ ප්‍රභේදයක් වන TRI 5000 අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගන්වනු ලැබුවා.
උත්සව අවස්ථාව ඇමැතූ අග්‍රාමාත්‍යවරිය,
” කෘෂිකාර්මික අපනයනවලින් 10% කට ආසන්න ප්‍රමාණයක් සඳහා දායක වෙමින්, මිලියන දෙකකට ආසන්න ජනතාවකගේ ජීවනෝපාය සඳහා ද සහාය වෙමින් තේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය කොටසක් ලෙස පවතිනවා. එහි ආර්ථික භූමිකාවෙන් ඔබ්බට තේ, දේශීය භූමිය, සංස්කෘතිය සහ ප්‍රජාවන් සමඟ ගැඹුරින් බැඳී පවතිනවා. එය කුඩා තේ වතු හිමියන්ගේ සහ වතු කම්කරුවන්ගේ සිට නිෂ්පාදකයින්, ඇසුරුම්කරුවන් සහ අපනයනකරුවන් දක්වා වූ අංශ පුරා පවුල් පවත්වාගෙන යාම සදහා සහාය දක්වනවා.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් දළ වශයෙන් 90% ක් රටවල් 140 කට වැඩි ගණනකට අපනයනය කරනවා. තේ හඳුන්වා දුන් දා සිට, සිලෝන් තේ (Ceylon Tea) හි පවතින ගුණාත්මකභාවය හේතුවෙන් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වෙමින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. රජයක් ලෙස, අපි මෙම ප්‍රගතිය තවදුරටත් පුළුල් කරමින්, 2030 වන විට සකස් කළ තේ කිලෝ ග්‍රෑම් මිලියන 400 ක ඉලක්කයක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අපනයන ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.
ඊට අමතරව, තේ කර්මාන්තයේ මානුෂීය පැතිකඩත් අප විසින් පිළිගත යුතුයි. තේ දළු නෙළීමේ සිට පර්යේෂණ හා පරිපාලනය දක්වා කාන්තාවන් දිගු කලක් තිස්සේ මූලික කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ශ්‍රම බලකායෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ගෙන් සමන්විතයි. COVID-19 වසංගතය අතරතුර, අන් අය නිරෝධායනයට ලක්ව සිටියදී පවා ඔවුන් අඛණ්ඩව සේවය කරමින් රජයට ආදායම් උත්පාදනය කළා. ඔවුන්ගේ දායකත්වය පිළිගත යුතුයි.
වතු ප්‍රජාවේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අපගේ රජය කැපවී සිටිනවා. මෑතකදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිගු කලක් දේපළ හිමිකර ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කරනු ලැබූ වතු ප්‍රජාවේ සාමාජිකයින්ට වැඩි ආරක්ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබා දෙමින් නිවාස ඔප්පු 2,000 ක් භාර දුන්නා.
මෙවර 2026 ශ්‍රී ලංකා අයවැයෙන්, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,750 දක්වා වැඩි කිරීමට යෝජනා කරලා තියෙනවා. මෙයට මූලික දෛනික වැටුප රුපියල් 1,550 දක්වා වැඩි කිරීම සහ 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත රජය විසින් යෝජනා කරන ලද රුපියල් 200 ක දෛනික පැමිණීමේ දීමනාවක් ඇතුළත් වෙනවා. මෙම කර්මාන්තය පවත්වාගෙන යන්නට කැපවෙන පිරිස සඳහා සාධාරණ වැටුප් සහ උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීමට අප දරණ ප්රයත්නය මෙයින් සනාථ වෙනවා.”


