37 වැනි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය – ව්‍යවස්ථා සභාව අනුමත කරයි

37 වැනි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය – ව්‍යවස්ථා සභාව අනුමත කරයි

මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට ජනපතිගේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වුණා.

අද (12) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම පත් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි වුණා.

1988 දී පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක් වූ වීරසූරිය මහතා 1988 දී පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සහ රථවාහන හා අපරාධ අංශවල සේවය කළා.

1992 දී උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් වූ ඒ මහතා පසුව මරදාන, වවුනියාව සහ කොම්පඥවීදිය පොලිස් ස්ථානවල සේවය කර තිබෙනවා.

ඒ මහතා 1997 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ලබාගැනීමෙන් පසු 1999 දී සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීමක් ලබා තිබෙනවා.

2007 දී ඔහු නීති හා සැපයුම් අධ්‍යක්ෂ ලෙස සේවය කරමින් පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබුවා.

වීරසූරිය මහතා නැගෙනහිර ටිමෝරයේ සහ හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වී ඇති අතර 2015 දී ඔහු ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

අනතුරුව ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් ලබා 2016 සිට 2020 දක්වා පොලිස් සැපයුම් අංශයේ ප්‍රධානියා ලෙස සේවය කර තිබෙනවා.

ප්‍රියන්ත වීරසූරිය මහතා 2020 දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් ලැබූ අතර, උපායමාර්ගික කළමනාකරණ, අපරාධ සහ රථවාහන අංශයේ සේවය කළා.

2024 සැප්තැම්බර් 26 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමට පෙර වීරසූරිය මහතා කටයුතු කරමින් සිටියේ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.

ඔහු එම තනතුරට පත් වූයේ 2024 ජූලි 24 වන දින පොලිස්පති තනතුරේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ සේවය අත් හිටුවීමෙන් පසුවයි.

2025 අගෝස්තු 11 වන දින, දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ඊළඟ පොලිස්පතිවරයා ලෙස පත්වීම සඳහා ජනාධිපති දිසානායක මහතා ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කළා.

Share This