
37 වන ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනය – ටෙක්නො 2025 ඇරඹෙයි
පර්යේෂණාගාරවල අදහස් වෙළඳ පොළට ළඟා විය යුතු බවත්, ඒ සඳහා බහු විෂයානුබද්ධ සම්බන්ධතා ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සංවිධාන කරන 37 වන ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනය – ටෙක්නො 2025 “සුහුරු ජාතියක් සඳහා ඉංජිනේරු විද්‍යාව” තේමා කර ගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ කරමින් ඔහු මේ අදහස් පළ කළා.
මෙය නවතම තාක්ෂණික දියුණුව ප්‍රදර්ශනය කරන, දේශීය මෙන්ම විදේශ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසන ශ්‍රී ලංකාවේ එකම සහ දීර්ඝතම ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනයයි.
සෑම වසරකම මෙම ප්‍රදර්ශනයට 30,000 කට අධික පිරිසක් සහභාගී වන අතර ඔවුන්ගෙන් බහුතරය ඉංජිනේරුවන්, විශ්ව විද්‍යාල උපාධිධාරීන් සහ පාසල් සිසුන් වීම විශේෂත්වයක්.
ඉංජිනේරු ක්ෂේත්රය හා සම්බන්ධ වාණිජ කුටි ඇතුළු, මෙරට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලයන්හි ඉංජිනේරු පීඨ සඳහා වෙන් වූ කුටි මෙහි අන්තර්ගත වී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් පවත්වන ලද වසරේ කනිෂ්ඨ නව නිපැයුම්කරු (JIY) තරඟයෙන් තෝරාගත් පාසල් සිසුන්ගේ සම්මානලාභී නවෝත්පාදනයන් ද මෙම උත්සවයේදී ප්‍රදර්ශනය කර තිබීම විශේෂයි.
පාසල් සිසුන්ගේ සිට විවිධ මට්ටම්වලින් නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය කැපවී කටයුතු කර තිබෙනවා.
මෙහි දී අදහස් වැඩිදුරටත් අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තිරසාර ජාතික ආර්ථික සංවර්ධනය කරා යන ගමනේ දී, ඉංජිනේරුවන් තීරණාත්මක උපායමාර්ගික කාර්යභාරයක් ඉටු කරන බවයි.
මෙම වසරේ ඔබේ තේමාව වන “සුහුරු ජාතියක් සඳහා ඉංජිනේරු විද්‍යාව” විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙවර සමඟ ගැඹුරින් සමපාත වන බව ද අමාත්‍යවරයා පැවසුවා.