49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (15) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී ජාතික රට හරහා දිවීමේ තරඟයෙන් ආරම්භ වී තිබෙනවා.

තරඟ ඉසව් 33 කින් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සමන්විත බව සඳහන්.

කෙසේවෙතත් පසුගිය වසරවලට සාපේක්ෂව ජාතික රට හරහා දිවීමේ තරඟ ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙහි ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව එක් පළාතකින් ක්‍රීඩකයින් 10 බැඟින් මෙවර ක්‍රීඩකයින් 88 දෙනෙකුගේ සහභාගීත්වයක් සහ එක් පළාතකින් ක්‍රීඩිකාවන් 6 දෙනෙකු බැඟින් ක්‍රීඩිකාවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයක් මෙවර තරඟාවලියේ දී දක්නට ලැබෙනු ඇති.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී වූ අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා විද්‍යාතනය, ක්‍රීඩා වෛද්‍යාතනය, උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනය ආදී ආයතනයන් හි ප්‍රධානීන් සහභාගී වී තිබෙනවා.

මෙහිදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කර සිටියේ සියලුම ඉස්සව්වලින්, හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර, ජාත්‍යන්තරයට රැගෙන යාම වත්මන් රජයේ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම සහ අරමුණ බවයි.

තවද, ඉදිරියේදී දියුණු විනයගරුක යහපත් පුරවැසියන් නිර්මාණයට අවශ්‍ය ක්‍රීඩා සංස්කෘතියක් මෙරට ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

ක්‍රීඩාව හරහා නිරෝගිමත්, ශක්තිමත් මෙන්ම දියුණු අනාගතයක් සහිත තාරුණ්‍යයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එමඟින් මත්ද්‍රව්‍ය වලට මෙරට තාරුණ්‍යයේ වන බරපතළ පෙළඹීම අඩු කිරීමට හැකි වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ජය පරාජය කෙසේ වෙතත් සහභාගී වීම වඩා වැදගත් බවත්, සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කරන බවත්ය.

මෙරට ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් සියලුදෙනා දායක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර ඉදිරි කාලවල දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරඟාවලි කිහිපයක් මෙරටට පැමිණ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Share This