77 වැනි නිදහස් දිනයේ දී මනිපූර් ප්‍රාන්තයේ සාමය යළි ස්ථාපිත කරන බවට මෝදිගෙන් ප්‍රකාශයක්

77 වැනි නිදහස් දිනයේ දී මනිපූර් ප්‍රාන්තයේ සාමය යළි ස්ථාපිත කරන බවට මෝදිගෙන් ප්‍රකාශයක්

ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනයේදී එරට ජාතිය අමතමින් මනිපූර් ප්‍රාන්තයේ සාමය යළි ස්ථාපිත කිරීමට තම රජය සෑම උත්සාහයක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා

දිල්ලියේ ඓතිහාසික රතු කොටුවේ ජාතික කොඩිය එසවීමෙන් පසු සිදුකළ අදහස් දැක්වීමේදී නරේන්ද්‍ර මෝදි ස්වභාවික විපත්, ආර්ථිකය සහ ඉන්දියාවේ වැඩිවන ජනගහනය ගැන අවධානය යොමු කර තිබෙන බව සඳහන්

එමෙන්ම මනිපූර් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කල්පවත්නා විසඳුමක් සොයාගත හැක්කේ සාමයෙන් පමණක් බවයි.

පසුගිය සති කිහිපය තුළ මනිපූර් හි ප්‍රචණ්ඩත්ව රැල්ලක් දුටු බවත් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වූ බවත් මව්වරුන් සහ සහෝදරියන් අගෞරවයට පත්වූ බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පවසා සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මනිපූර් ප්‍රාන්තයේ බහුතර Meitei කණ්ඩායම සහ ගෝත්‍රික කුකී සුළුතරය අතර මැයි මාසයේදී ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 140කට වැඩි පිරිසක් මිය ගොස් දස දහස් ගණනක් අවතැන්ව සිටින බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

එමෙන්ම ප්‍රචණ්ඩත්වය අතරතුර සති ගණනාවක් මනිපූර් ගැන කතා නොකිරීම සම්බන්ධයෙන්ද නරේන්ද්‍ර මෝදි විවේචනයට ලක් වුණා

බිලියන 1.4 ක ජනගහනයක් සිටින චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයක් සිටින රට බවට ඉන්දියාව පත්ව ඇති බව මෑත කාලයේ පළ වූ වාර්තා ගැන සඳහන් කරමින් අගමැතිවරයා සිය නිදහස් දින කතාවේදී සඳහන් කරනු ලැබුවා

ඉන්දියාවේ ආර්ථිකය දැන් ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉදිරි වසර පහ තුළ අපි පළමු ස්ථාන තුන අතර සිටින බවට ද පොරොන්දු වුණා .

“2047 දී ඉන්දියාව නිදහස ලබා වසර 100 ක් සපිරෙන විට එය සංවර්ධිත ජාතියක් වනු ඇති බවට විශ්වාස බවත් ඔහු වැඩිදුරටත් පවසනවා

කොවිඩ්-19 වසංගතයෙන් පසු රටේ ආර්ථික තත්ත්වය අනෙකුත් බොහෝ රටවලට වඩා යහපත් බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර උද්ධමනය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වී තිබෙනවා යැයිද සඳහන් කර සිටියා

මේ වසරේ ප්‍රාන්ත කිහිපයක ස්වාභාවික විපත් නිසා ඇති වූ සිතාගත නොහැකි විපත් හේතුවෙන් ජනතාවගේ ජීවිත යළි ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන් එක්ව කටයුතු කරන බවද ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා

Share This