යුද උණුසුම මැද රුසියානු ජනපති පුටින් මොස්කව් නුවර විශේෂ රැළියකට එක්වෙයි

යුද උණුසුම මැද රුසියානු ජනපති පුටින් මොස්කව් නුවර විශේෂ රැළියකට එක්වෙයි

යුක්‍රේනයේ තම හමුදා මෙහෙයුම් උණුසුම් මුහුණුකරන් ගනිමින් තිබෙන පසුබිමක රුසියානු ජනපති පුටින් ඊයේ මොස්කව් නගරයේ ප්‍රධාන පාපන්දු ක්‍රීඩා පිටියක පැවැති විශේෂ රැළියකට එක්ව සිටීම ජාත්‍යන්තරයේ වැඩි අවධානයකට ලක් වුණා.

2014 වසරේදී ක්‍රිමියානු අර්ධද්වීපය රුසියාවට එක්කර ගැනීමේ අවස්ථාව සිහිපත් කිරීමටත් යුක්‍රේනය තුළ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදාවන්ට සහාය පළ කිරීමත් මූලික කර ගනිමින් මොස්කව් නගරයේ පැවැති මෙම විශේෂ රැළියට දස දහස් සංඛ්‍යාත පුටින් හිතවාදී ආධාරකරුවන් එක්ව සිටියා.

මෙම අවස්ථාව රුසියාවේ රාජ්‍ය රූපවාහිනී ආයතනයක් විසින් සජීවීව විකාශය කරමින් සිටියදී ජනපති පුටින් සිය දේශනය අරඹා මිනිත්තු කිහිපයකින් ක්‍රීඩා පිටියේ පැවැති වෙනත් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් වෙත යොමුවීමට පියවර ගැනීම මතබේදයට ලක්ව තිබුණා.

කෙසේ වෙතත් මෙය සිතාමතා සිදු කළ දෙයක් නොවන බවත් තාක‍ෂණික දෝෂයක් හේතුවෙන් අනපේක‍ෂිත ලෙස මෙවැන්නක් සිදුවූ බවත් අදාළ රාජ්‍ය රූපවාහිනී ආයතනය නිවේදනය කළ බවයි වාර්තා වුණේ.

මේ අතර යුක්‍රේනයේ පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා රුසියාව සමඟ වහාම සාකච්ඡාවකට යොමු වන ලෙස ජනපති ජෝ බයිඩ්න්ගෙන් තමන් ඉල්ලා සිටින බව චීන ජනපතිවරයා දැනුම්දී සිටිනවා.

ධවල මන්දිරයේ ඉල්ලීම මත ඊයේ ඇමෙරිකානු සහ චීන ජනපතිවරුන් විශේෂ සාකච්ඡාවකට එක්ව ඇති අතර එහිදී ජනපති සී ජිං පින් අවධාරණය කර ඇත්තේ සෑම පාර්ශ්වයකම රුසියාවට සහ යුක්‍රේනයට සාමූහිකව සහයෝගය ලබාදිය යුතු බවයි.

මේ අතර යුක්‍රේනයේ යුද උණුසුම දිනෙන් දින ඉහළ යන පසුබිමක වුවද රුසියානු ගඟනගාමීන් තිදෙනෙකු රැගත් සෝයූස් යානයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This