රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේන ළමුන් මිලියන 4.3ක් අවතැන් – යුක්‍රේන ජනපති බර අවි ඉල්ලයි

රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේන ළමුන් මිලියන 4.3ක් අවතැන් – යුක්‍රේන ජනපති බර අවි ඉල්ලයි

රුසියානු ආක්‍රමණය හමුවේ ආරම්භ වූ දා සිට යුක්‍රේන ළමුන්ගෙන් අඩක් පමණ අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසන්නේ ආක්‍රමණය ආරම්භ කළ දිනයේ සිට සෑම යුක්‍රේන දරුවන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් අවතැන්ව ඇති බවයි.

යුක්‍රේනයේ ඇස්තමේන්තුගත ළමා ජනගහනය මිලියන 7.5ක් වන අතර ඉන් මිලියන 4.3ක් අවතැන්ව ඇති බවයි යුනිසෙෆ් සංවිධානය කියා සිටියේ.

මින් ළමුන් මිලියන 1.8කට වැඩි සංඛ්‍යාවක් සරණාගතයින් ලෙස අසල්වැසි රටවලට පලාගොස් තිබෙනවා.

මේ අතර රුසියානු රන් සංචිත තහනම් කිරීමට ඇමරිකාව සහ G7 රටවල් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නේටෝ සංවිධානයට අයත් බරඅවි තම රටට ලබාදෙන ලෙසට යුක්‍රේන ජනාධිපති ව්ලොද්මිර් සෙලෙන්ස්කි යළිත් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර සිවිල් වැසියන්ගේ ආරක්ෂාව උදෙසා ඩොලර් මිලියන 100ක මූල්‍යාධාර සපයන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

 

Share This