කසාදය එපාවීමෙන් අර්බුදයට යන රටක්
ගණන් කළ නොහැකි තරම් යුවල සංඛ්‍යාවක් 2022 පෙබරවාරි 22 වන දින විවාහ ලියාපදිංචි කර ඇතැයි චීනයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.දෙකේ ඉලක්කම් බොහෝ ප්‍රමාණයකින් සමන්විත එම දිනය මැන්ඩරින් භාෂාවේ ශබ්ද නැගෙන ආකාරය අනුව සැලකෙන්නේ “ආදරණීය දිනය” ලෙසයි.
එම වාසනාවන්ත දිනයේ එතරම් විවාහ සිදුවුවත් ,විවාහ මංගල උත්සවවල වැඩිවීමක් තිබියදීත්, මෑතකාලීනව චීනයේ විවාහ අනුපාතය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි සඳහන් වෙන්නේ.
එමඟින් සිදුවන සමාජ හා ආර්ථික අස්ථාවරත්වය ගැන සැලකිලිමත් වෙමින් චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) මේ වන විටත් විවාහයන් වැඩිකිරීමට මුල පිරීම් කිහිපයක් යෝජනා කර ඇතැයි පැවසෙනවා.ඒ අතර රජය බලහත්කාරයෙන් විවාහවීම සඳහා රටවැසියන් පොළඹවන අවස්ථාවන් පවා වන බව සඳහන්.
වර්තමානයේ චීනයේ විවාහයට වඩාත්ම වැදගත් බාධාව වී ඇත්තේ තරුණ පරම්පරාව අතර විවාහ වීමට ඇති අකමැත්තයි. පළාත් සංඛ්‍යාලේඛනවලට අනුව, ජියැන්ග්සු පළාතේ විවාහ අනුපාතය අඛණ්ඩව 5 වන වසර සඳහාත් 5% ක අගයකින් අඩු වී තිබෙන බවයි සඳහන් වන්නේ.එම අකමැත්තට හේතු වී ඇත්තේ දරුවන් ලැබීමට සහ විවාහ වීමට සඳහා යන අධික වියදමයි. සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත්පත පෙන්වා දෙන්නේ විශේෂයෙන් වර්ෂ අනූව දශකයේ අගභාගයේ සහ වර්ෂ දෙදහසෙන් පසු උපන් පරම්පරාව නියෝජනය කරන වර්තමාන තරුණ චීන කාන්තාවන් විවාහය කෙරෙහි අඩු උනන්දුවක් දක්වන බවයි.
ප්‍රචාරණ ආයතනයක නිර්මාණ අධ්යක්ෂ ලියූ ෂින් පවසන පරිදි,බොහෝ වෙළඳ නාම “Live for yourself” යන්න කාන්තා පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට භාවිතා කරන වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ලියූ පවසන්නේ අවුරුදු 35 ට අඩු කාන්තාවන් විශාල සංඛ්‍යාවක් තමන්ගේ සතුට පමණක් සිතන අතර ඔවුන්ගේ පරිභෝජනය සහ ජීවන රටාව දරුවන් බිහි කිරීමට ඇති කැමැත්ත හීන කර ඇති බවයි. මෙම තත්ත්වය තුළ මිනිසුන්ට දරුවන් තිදෙනෙකු ලැබීමට ඉඩ සලසන පවුල් සැලසුම් නීති වෙනස් කිරීම ඇතුළුව, පවුල් ආරම්භ කිරීමට තරුණ වැඩිහිටියන් දිරිමත් කිරීම සඳහා චීන රජය සිදු කරන බලකිරීමට සැලකිය යුතු විරෝධයක් ද එල්ල වී තිබෙනවා.
කීර්තිමත් ලේඛකයෙකු සහ ස්වාධීන විචාරකයෙකු වන ෂෙන් ජියැක් පවසන්නේ, එවැනි පියවර ඵලදායීවීමට නම්, දරුවන් නොමැතිකමට වඩා මාපියත්වය ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කරන බව තරුණ කාන්තාවන්ට වටහා දීමට රජය පියවර ගත යුතු බවයි.
චීනයේ වර්තමාන විවාහ සහ උපත් රෙගුලාසි පිළිබඳ කන්තාවන්ගේ අතෘප්තිය ඔවුන්ගේ සැබෑ හැසිරීම් තුළින් ප්‍රකාශ කරන බැවින්, එවැනි පියවරයන් ප්‍රමාණවත් ලෙස ජනගහනය ඉහළ නැංවීමට අපොහොසත් වනු ඇතැයි ඔහු පවසනවා. විවාහය සහ දරුවන් පිළිබඳ ආකල්පයේ දී තරුණියන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම දැන් ප්‍රවණතාවක් බවට පත්වෙලා. හොඳින් උගත් මූල්‍යමය වශයෙන් ස්වාධීන තරුණියන් සමවයසේ පිරිමින්ට සාපේක්ෂව සමානව හෝ ඔවුන් ඉක්මවා ගොස් ඇතැයි ෂෙන් පවසනවා.මෙම සියලු සාධක හේතුවෙන් යෞවනියන් තුළ ඇති ආකල්ප සහ වටිනාකම් සමාජයට විශේෂයෙන්ම ජනගහන වර්ධනය වීමේ ප්‍රවණතාවයට විශාල බලපෑමක් ඇති කර තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂය කාන්තාවන් සහ පිරිමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවීමට අනුග්‍රහය සලසා ඇතැයි ඒ අතර සඳහන් වෙනවා. හෙබෙයි පළාතේ ලන්ජොන් හි පදිංචිකරුවන් 520,000 ක් සිටින නගරය වටා මංගල යෝජනා සපයන “matching spot” පිහිටුවා ඇති අතර මනාළමනාළියන් ගැළපීම සඳහා පුද්ගලික තොරතුරු ඇතුළත් ලියාපදිංචි කිරීමේ අයදුම්පත් බෙදා හැර ඇතැයි පැවසෙනවා. චීනයේ නැඟෙනහිර ෂැන්ඩොං පළාතේ ජිනන් හි පසුගිය දා රජයේ අනුග්‍රහයෙන් පැවති එවැනි උත්සවයකට පුද්ගලයින් 100කට අධික පිරිසක් සහභාගී වුණා. පොදු උද්‍යානයක පැවති මෙම උත්සවයේ දී අමුත්තන්ගේ වයස, රැකියා ක්ෂේත්‍ර සහ ධනය සඳහන් කරන ලද මුද්‍රිත පත්‍රිකා ගස් අතර සවි කර තිබුණා. පසුබිමේ පොප් සංගීතය වාදනය වූ අතර, එකිනෙකා අතර සංවාදය උණුසුම් කෙරෙන ක්‍රියාකාරකම් රැසක් පැවැත් වී ඇතැයි සඳහන් වෙනවා.
සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තාවක් පවසන්නේ රජයේ විවාහ යෝජනා සඳහා කෙරෙන එවැනි බලපෑම් කිහිපයක්ම අසාර්ථක වී ඇති බවයි. රැකියා විරහිත ග්‍රාමීය පිරිමින් හා විවාහ වීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහා ජියැන්ෂි හි පැවති රජයේ මුලපිරීමකට ප්‍රතිචාරය සුබවාදී වී නැහැ.ජියැන්සි පළාතේ යිහුවැන් ප්‍රාන්තයේ නිවාස සහ රැකියා ලබාදීමේ දී කාන්තාවන් සහ ඔවුන්ගේ සහකරුගේ ප්‍රමුඛතා සලකා බලනු ලබනවා.එමෙන්ම මාතෘ දීමනා ලබා දීම,විශේෂිත ව්‍යවසායක පුහුණුව,ව්‍යාපාර මූල්‍යකරණය මෙන්ම රජයේ රැකියා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් රැකියා විරහිත පිරිමින් සමඟ විවාහ වීමට කාන්තාවන් පොළඹවා ගැනීමට රජය ගන්නා උත්සහය නින්දා සහගත වූවක් බවට ද චෝදනා නැගී තිබෙනවා. මේ ආකාරයේ රජයේ සැලසුම් රට පුරා අනෙකුත් පළාත්වලට ද ව්‍යාප්ත වී ඇති බවයි සඳහන් වෙන්නේ. හුනාන් හි ෂියැන්ජින් ප්‍රාන්ත පරිපාලනය එහි ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂ වෙබ් අඩවියේ “Operation Bed Warming” යන යෝජනාවක් පිළිබඳ අනාවරණය කර තිබෙනවා. එමඟින් දේශීය කාන්තාවන් ග්‍රාමීය ප්‍රදේශවලින් ඉවත් වීම අධෛර්යමත් කිරීම සඳහා ගැලපුම් සේවා සහ ප්‍රවර්ධනය වැඩිදියුණු කර ඇතැයි සඳහන් වෙනවා.
විවාහ අනුපාත වැඩිදියුණු කිරීම සඳහා බලහත්කාරය යෙදවීම මෙහි ඇති භයානකම තත්ත්වයයි. එක් උපාය මාර්ගයක් ලෙස, දික්කසාදය වඩාත් දුෂ්කර කර ඇතැයි සඳහන්.ඒ අනුව පෙර වසරවලට සාපේක්ෂව දික්කසාද සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. නමුත් එවැනි නීති සම්පාදනය නිසා ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ කාන්තා හිංසනය වැඩි වී ඇතැයි පැවසෙනවා.
2019 දී, රජය විසින් රටපුරා විද්‍යාල ප්‍රවේශ විභාගයේදී හන් චීන මවක හෝ පියෙකු සිටින ළමුන් සඳහා ප්‍රසාද ලකුණු හතර ගුණයකින් වැඩි කරන ලද අතර,දෙමව්පියන් දෙදෙනාම වාර්ගික සුළුතරයන් වන දරුවන් සඳහා අමතර ලකුණු ලබා දීමක් සිදු කර තිබුණා.වඩාත් බලගතු උදාහරණයක් වන්නේ, ෂින්ජියැන්ග් හි හි සිර කඳවුරුවලින් දිවි ගලවා ගත් එක් උයිගර් ජාතිකයකු පවසා තිබුණේ රජයේ නිලධාරින්ගේ ඉල්ලීම මත සිරගත නොවී සිටීම සඳහා උයිගුර් වැසියන් තම දියණියන් හන් ජාතිකයන්ට විවාහ කර දීමට කැමැත්ත පළ කරන බවයි.
2018 සිට, හන් පිරිමින් උයිගුර් කාන්තාවන් විවාහ කර ගැනීමට දිරිගන්වන ප්රකාශනවල කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙනවා. වාර්ෂික ව්‍යවස්ථාදායක සහ උපදේශන සැසි අතරතුර ද කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් උපත් අනුපාත වැඩි කිරීමට සහ විවාහය දිරිමත් කිරීමට ප්‍රතිපත්ති කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. එම නිර්දේශ නිල ප්‍රතිපත්තියක් බවට පත් නොවුණත් බොහෝ අය තුළ මෙම උත්සහයන් පිළිබඳ ඇත්තේ බරපතල සැකයක් බවයි සඳහන් වන්නේ.