යුක්රේන යුද උණුසුම මැද රත්වන තායිවාන අර්බුදය

යුක්රේන යුද උණුසුම මැද රත්වන තායිවාන අර්බුදය

රුසියාව යුක්රේනයේ නගරවලට දිගින් දිගටම පහර දෙමින් සිටියදී , මෙම ගැටුම සම්බන්ධයෙන් චීනය දක්වන ප්‍රතිචාරය කෙරෙහි නිරීක්ෂකයෝ දැඩි අවධානයෙන් සිටිති. යුක්රේනය තුළ රුසියාවේ ක්‍රියාකලාපය සහ තායිවානය පිළිබඳ චීනයේ ප්‍රකාශ අතර සමාන්තර බවක් නිර්මාණය වෙමින් පවතින බව ඔවුන්ගේ අදහසයි.

තායිවානය යුක්රේනය හා සැසඳීම බැහැර කර ඇති නමුත් යුක්රේන ගැටුම සම්බන්ධයෙන් චීනයේ නිල ස්ථාවරය අපහැදිලිය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Hua Chuning පසුගියදා කියා සිටියේ තායිවානය සහ යුක්‍රේනය අතර සංසන්දනය “තායිවාන් ප්‍රශ්නයේ ඉතිහාසය පිළිබඳ මූලික අවබෝධයේ ඌනතාවක්” පෙන්නුම් කරන බවයි.

තායිවානය යනු යුක්රේනය නොවන බවත් තායිවානය චීන භූමියේ වෙන් කළ නොහැකි කොටසක් බවත් ඇය නැවත අවධාරණය කළාය. යුක්රේන ප්‍රශ්නය “උණුසුම් මාතෘකාවක්” බවට පත් කළ බවට හුවා තායිවාන බලධාරීන්ට චෝදනා කරද්දී යුක්රේන ගැටුම සම්බන්ධයෙන් චීනයේ නිල ප්‍රකාශ නොතකා, තායිවාන බලධාරීහු යුක්රේනයේ වර්ධනයන් දෙස අවධානයෙන් බලා සිටිති.

බීජිං දිගු කලක් පුරා ප්‍රජාතන්ත්‍රවාදී තායිවානය මත ස්වෛරීත්වය ඉල්ලා සිටින අතර, අවශ්‍ය නම්, බලහත්කාරයෙන් හෝ යම් දිනක එය අල්ලා ගැනීමට ප්‍රතිඥා දී ඇති බවද අමතක කළ නොහැකිය.කෙසේ වෙතත් යුක්රේනය සහ තායිවානය අතර සමානකම් සහ වෙනස්කම් රැසක් පවතී.

තායිවානයේ සහ යුක්රේනයේ තත්ත්වයන් අතර වෙනස්කම් අවධාරණය කරමින් තායිවාන රජය රුසියානු ආක්‍රමණය හෙළා දැක තිබේ. තායිවාන ජනාධිපති Tsai Ing-wen පවසන්නේ යුක්රේනයේ තත්වය තායිවාන් සමුද්‍ර සන්ධියේ තත්වයට වඩා මූලික වශයෙන් වෙනස් බවයි. තායිවාන් සමුද්‍ර සන්ධිය ස්වභාවික බාධකයක් මෙන්ම තායිවානයට ආවේණික භූ මූලෝපායික වැදගත්කමක් ද වන අතර තම හමුදාව මව්බිම ආරක්ෂා කිරීමට කැපවී සිටින බව ඔහු දැඩි විශ්වාසයකින් අවධාරණය කරයි.

ඒ සඳහා ඇති හැකියාව තවදුරටත් වැඩිදියුණු කරමින් සිටින අතර අපගේ ගෝලීය හවුල්කරුවන් තම කලාපයේ ආරක්ෂාව සඳහා දායක වන බැවින් තායිවානයේ ආරක්ෂාව පිළිබඳව දැඩි විශ්වාශයක් ඇති බව තායිවාන ජනාධිපතිවරයා පවසා තිබේ.

චීනය යුක්රේනය සහ තායිවානය අතර සංසන්දනය ප්‍රතික්ෂේප කරන අතර, රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිචාරය තවමත් බීජිංහි කොමියුනිස්ට් රජය විශ්ලේෂණය කරමින් සිටින බව සමහර ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.

චීනය නේටෝවේ සහ අනෙකුත් එක්සත් ජනපද සන්ධානවල සහයෝගීතාවය නිරීක්ෂණය කරනු ඇති බව පවසන එක්සත් ජනපදයේ ජර්මානු මාෂල් අරමුදලේ ආසියා වැඩසටහනේ අධ්‍යක්ෂ බොනී ග්ලේසර් , බීජිං නිසැකවම තායිවානය වෙත තම උපාය මාර්ගයෙහි භාවිතා කළ හැකි පාඩම් උකහා ගනු ඇති බව සඳහන් කරයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවදානමක් පිළිබඳ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් ගෙන යනු ලබන අනාවැකි මාලාව අතරතුර චීනය තව දුරටත් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය නිරන්තරයෙන් වාර්තා කරයි.

පසුගියදා චීන සිවිල් ගුවන් යානයක් කිසිදු දැනුම්දීමකින් තොරව තායිවාන දේශ සීමාවට ඉහළින් පියාසර කිරීමත් සමඟ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට චීනය නොකඩවා තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටින බව එම මාධ්‍ය වාර්තා අනාවරණය කළේය.

තායිවානයට අයත් දූපතකට ඉහළින් පියාසර කළ බව කියන මේ කුඩා චීන සිවිල් ගුවන් යානය පිළිබඳ තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක් සහිත මේ කුඩා රාජ්‍යය යුද උණුසුමකට ඇද ගැනීමට චීනය සිවිල් ගුවන් යානා භාවිත කරමින් නව උපාය මාර්ගයක් උත්සාහ ගනිමින් සිටින බවයි.

මෙවැනි උපක්‍රම භාවිත කරමින් තායිවානයේ ඉවසීම පරීක්ෂා කිරීමේ චීන අරමුණ මෙම පසුබිම තුළ සිය හමුදා බලය යොදා තායිවානය ආක්‍රමණය කිරීමට බවට මේ වන විට ඉඟි පළවේ. චීනය විසින් දිගින් දිගටම තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීමේදී තායිවානය විසින් ඊට ප්‍රතිචාර දක්වනු ලැබූ අවස්ථාවක නිසැකවම මේ ආක්‍රමණය සිදුවනු ඇති බව බොහෝ විශ්ලේෂකයින්ගේ කියවීමයි.

චීනයේ මෙම ක්‍රියාකාරකම් පසුගිය දෙවසරක කාලය පුරා සිදු වී ඇති බවට , චීන හමුදාවේ හිතුවක්කාර ක්‍රියාකාරකම් පිළිබඳ අන්තර්ජාතික අවධානයට යොමු කරමින් තායිවානය අවස්ථා ගණනාවකදී ප්‍රකාශ නිකුත් කළේය. නිරිතදිග සහ දකුණු දිග වෙරළට ඔබ්බෙන් තායිවානයේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් චීන ගුවන් හමුදාවට අයත් යානා රැසක් පසුගිය කාලය තුළ පියාසර කර තිබූ අතර, එවැනි අවස්ථා රැසකදී තායිවානයට ආක්‍රමණයක අවදානම් තත්ත්වයක් මතුවූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තායිවානය සිය භූමියට අයත් කොටසක් ලෙස තවමත් ප්‍රකාශ කරන චීනය එහි ස්වාධීනත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටී. මෙහිදී දැඩි පීඩාවකට පත් වෙමින් සිටින්නේ එරට හමුදාව සහ ඔවුන්ගේ යුද ශක්තිය අවතක්සේරුවට ලක් කරමිනි.

පසුගියදා චීනයේ ෆුජියැං පළාතේ වෙරළට ඔබ්බෙන් පිහිටි මට්සු දූපත් සමූහයේ කොටසක් වන ඩොංගින් වෙත ඉතා ආසන්නව මේ කුඩා සිවිල් ගුවන් යානය පියාසර කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සිය නිවේදනයට ඇතුළත් කළේය. එය මීට පෙර හඳුනා ගෙන නොතිබූ චීන සිවිල් Y-12 වර්ගයේ සැහැල්ලු ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානයක් බව ඔවුන් තහවුරු කර ඇත.

තම හමුදාවේ ප්‍රතිචාර පරීක්ෂා කිරීමට ඔවුන් සිවිල් ගුවන් යානා භාවිත කරන බවට වන මතය අපට බැහැර කළ නොහැකි බවයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂිහ් ෂුන් වෙන් මේ පිළිබඳව අදහස් විමසූ මාධ්‍ය‍වේදීන් හමුවේ පැවසීය.

තම හමුදාව අනිවාර්යයෙන්ම ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති නමුත් එය යුද්ධයක් ආරම්භ කිරීමක් ලෙස නොව හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස කටයුතු කරනු ඇති බව ඔහු අවධාරණය කර තිබුණි. තායිවාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් හයක දුරකින් පිහිටි මට්සූ දූපත් සමූහය අවට මුහුදු ප්‍රදේශය සහ ගුවන් අවකාශය ලෙස තායිවානය කියා සිටින කලාපය වෙත එම ගුවන් යානය ඇතුළු වූයේ නම් නිසැකවම ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට සිදුවීම වැළැක්විය නොහැකි කරුණක් බව ඔහු නොකියා කීය.

වසර 1949දී කොමියුනිස්ට්වාදීන් සමඟ පැවැති සිවිල් යුද්ධයෙන් පරාජයට පත්ව චීන සමූහාණ්ඩු රජය පලා යෑමෙන් පසු මට්සු දූපත් සමූහය තායිවානය විසින් පාලනය කරමින් සිටී. එහෙත් 70 දශකයේ අගභාගය වනතුරු වරින් වර චීනය එම දූපත් සමූහය ඉලක්ක කරමින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර, ඒ වනතුරු දැඩි ආරක්ෂක කලාපයක් බවට පත්වී නොතිබුණු මට්සු දූපත් සමූහයේ හමුදා බළකායක් ස්ථාපිත කිරීමට තායිවානය පියවර ගෙන තිබිණි.

මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳ බුද්ධි අංශ වාර්තාව සැළකිල්ලට ගෙන අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව යුක්රේනයට සහාය පළ කිරීමට පියවර ගැනීමත් සමඟ තායිවානය සම්බන්ධ ගැටලුවේදී ද අමෙරිකාව චීනයට එරෙහිව යනු ඇති බවට බටහිර දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.

පසුගිය ජනවාරියේ අගභාගයේදී අමෙරිකාවේ චීන තානාපති විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය එය වඩාත් තහවුරු කිරීමකි. තායිවානය පිළිබඳව අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් සිදුවනු ඇති බවට ඔහු අනතුරු අඟවා තිබිණි. අමෙරිකාව විසින් තායිවානයේ බලධාරීන් දිරිමත් කරමින් සිටින බවට ඔහු චෝදනා කරන්නේ හේතු සාධකය ඇතුවය. එවැනි තත්ත්වයක් මත චීනයට අමෙරිකාව සමඟ මිලිටරි ගැටුමකට සම්බන්ධවීමට සිදුවනු ඇතැයි ද චීන තානාපතිවරයා වැඩි දුරටත් කියා තිබේ.

ස්වාධීන රාජ්‍යයක් ලෙස බටහිර රටවල් පිළිගන්නා තායිවානය තව දුරටත් චීනයට අයත් කලාපයක් බවත්, එවැනි පසුබිමකදී තායිවානයේ සහායට අමෙරිකාව ඉදිරිපත්වීම චීනයේ උදහසට ලක්වන කාරණාවක් වනු ඇති බවත් ඔහුගේ මතයයි.

පසුගිය නොවැම්බරයේ දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ජාවකට එක්වූ චීන ජනාධිපති ෂි ජින්පින් කියා සිටියේ තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයකු ‘ගින්දරත් සමඟ සෙල්ලම් කරන’ බවය. මෙම බල අරගලය ඇදී යන්නේ යුද ගැටුමක් දක්වා නොවේදැයි ඔහුගේ ප්‍රකාශය නැවත නැවතත් නොකියන්නේද?

Share This