පාකිස්ථානයේ අලුත් ත්‍රස්ත රැල්ලක්

පාකිස්ථානයේ අලුත් ත්‍රස්ත රැල්ලක්

මෑතකාලීනව පෙෂාවර් ප්‍රදේශයේ වාර්තා වූ සීක් සහ ෂියා සුළු ජාතීන් ඉලක්ක කරගත් ඝාතන සිදුවීම් කිහිපයක් සමග පාකිස්ථානයේ නව ත්‍රස්තවාදී රැල්ලක් ඇතිවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඊට අදාළ නවතම සිදුවීම ලෙස පසුගිය දා පෙෂාවර්හි වෙළෙදපළක දී සික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු නාඳුනන ප්‍රහාරකයින් විසින් වෙඩි තබා ඝාතනය කළා.

ප්‍රහාරයෙන් පසුව, පෙෂාවර් අගනුවර පොලිස් ප්‍රධානී ඉජාස් ඛාන් පැවසුවේ, ඔවුන් විවිධ පැති ඔස්සේ විමර්ශනය කරමින් සිටින අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව තහවුරු වෙමින් ඇති බවයි.

මේ අතර ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයන්ට අනුව, පාකිස්ථානයේ බුද්ධි ඒකක ඔවුන්ගේ ජාලය වීදි සහ ගම් මට්ටම් දක්වා ව්‍යාප්ත කිරීමට අපොහොසත් වී ඇති අතර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩි වීමට එය හේතු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම වාර්තාවන්ට අනුව, බුද්ධි තොරතුරු මත පදනම්ව එකදු හෝ ත්‍රස්ත ප්‍රහාරයක් වැලැක්වීමට බුද්ධි අංශ මෑත වසරවලදී සමත් වී නැහැ.

ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පාකිස්ථානයේ ආණ්ඩු අසමත් වූ බවට ද ආරක්ෂක විශේෂඥයන් චෝදනා නගා තිබෙනවා.

Share This