බාධාවකින් තොරව තෙල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකසන්න – මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

බාධාවකින් තොරව තෙල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකසන්න – මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

බාධාවකින් තොරව ඛණිජ තෙල් ලබා ගැනීමට හැකි වන ක්‍රමවේදයක් ඉතාමත් කඩිනමින් සහ හදිසි අවශ්‍යතාවක් සේ සලකා සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යාංශයට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ මහජන උපයෝගී කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇති බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය විසින් මේ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ඛනිජ තෙල් හිඟය පිළිබඳව සහ ඒ මගින් ජන ජීවිතයට සිදුව ඇති අපහසුතාවන් වළක්වා ගැනීම සඳහා ආයතන මට්ටමින් ගෙන ඇති පියවරයන් විමසා බැලීම සඳහා මැයි මස 27 වන දින බලශක්ති අමාත්‍යාංශය, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවනු ලැබුවා

ඒ අනුව බලශක්ති අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටියා

එහිදී රටේ වත්මන් ඛණිජ තෙල් හිඟය සහ මහජනතාවට සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට බාධාවක් වී තිබෙනවා

ඛණිජ තෙල් ලබා ගැනීමට දිගු වේලාවක් සහ දිගු පෝලීම්වල රැඳී සිටීමට සිදුව ඇති තත්ත්වය තුළ ජනතාවට සිදුවන අපහසුතාව කඩිනමින් සමනය කිරීමට උක්ත ආයතන මට්ටමින් ගෙන ඇති පියවරයන් පිළිබඳව එහිදී පැහැදිලි කරනු ලැබුවා”

තවද බාධාවකින් තොරව ඛණිජ තෙල් ලබා ගැනීමට හැකිවන ක්‍රමවේදයක් ඉතාමත් කඩිනමින් සහ හදිසි අවශ්‍යතාවයක් සේ සලකා සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එහිදී මෙම ආයතනයන් වෙත දන්වා තිබෙන බවයි එම පුවත්පතේ සඳහන් කර තිබෙන්නේ

Share This