ඖෂධ හිඟය ඩෙංගු අධි අවදානම තවත් වැඩි කරයි – මරණ සීග්‍රයෙන් ඉහළ යාවී – GMOA අනතුරු අඟවයි

ඖෂධ හිඟය ඩෙංගු අධි අවදානම තවත් වැඩි කරයි – මරණ සීග්‍රයෙන් ඉහළ යාවී – GMOA අනතුරු අඟවයි

මේ වනවිට ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන නිසා දිගින් දිගටම මේ ආකාරයට ගමන් කළහොත් මෙම වර්ෂය තුළ
ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එසේම දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු රෝගය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර සමස්තයක් ලෙස වසරේ ගෙවුණු කාලයේදී දිවයින පුරා රෝගීන් 25,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව සඳහන්.

ඉන් අති බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගින්ගෙන් 40% කට ආසන්න ප්‍රතිශතයක්.

පවතින රටාවන් තුළ දිගින් දිගටම ගමන් කළහොත් මෙම වර්ෂය තුළ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ.

අවසන් වරට මේ අයුරින් විශේෂ අවදානමක් මතු වුයේ 2017 වර්ෂයේදි වන අතර වසර 5 කට වරක් ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් සඳහා පවතින රටාව මේ වර්ෂය තුළද ඉස්මතු වෙමින් පැවතීම අවධානයට ලක්විය යුතු කරුණක් බවයි එම සංගමය පවසන්නේ.

රට තුළ පවතින සමාජ, ආර්ථික අර්බුදකාරි වතාවරණය හරහා නිර්මාණය වී ඇති දැඩි ඖෂධ හිඟය හා මහජනතාවගේ අවධානය ගිලිහි යාම යන කරුණු හේතුවෙන් මෙම වර්ෂය තුල ඩෙංගු රෝගය නිසා සිදු වන මරණ ප්‍රමාණයද ඉහළ යනු ඇති බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අදහස වී ඇත්තේ.

දිවයින පුරා සිදු කර ඇති කීට විද්‍යා සමීක්ෂණ හරහා හෙලිදරව් වී ඇති තොරතුරු අනුව පසුගිය මාසයක කාලයක තුළ මදුරු ඝණත්වයන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

එසේම ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර පිළිබඳ ගණනය කරන බ්‍රිඨෝ දර්ශකය (Breataux Index) විශාල
ප්‍රතිශතයක් ගැනීම ඉදිරි කාලය පිළිබඳ වඩාත් අඳූරු හා භයංකර තත්ත්වයක් පිළිබඳ ඉඟි කරන බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

බ්‍රිඨෝ දර්ශකය පිළිබඳ නිර්දේශිත අගය 5% කට අඩු විය යුතු නමුත් අධි අවධානම් කලාප වල දැනට සිදු කර ඇති කීට විද්‍යා සමීක්ෂණ අනුව එය 20% මට්ටම කරා ලඟා වෙමින් තිබීම විශේෂ අවධානය යොමුවිය යුතු කරුණක් බවයි වෛද්‍යවරු පවසන්නේ.

Share This