ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව
මේ වසරේ මැයි 23 වන දින ටොකියෝ හි පැවති සිව්වන Quad සමුළුවේ වැදගත් අතුරුඵලයක් ලෙස එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් රටවල් 12 ක් සමඟ එක් වී නව වෙළඳ ගණුදෙනුවක් වන Indo-Pacific Economic Framework (IPEF) දියත් කරනු ලැබුවා.
ඒ ඕස්ට්‍රේලියාව, බෲනායි, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, නවසීලන්තය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන කලාපයේ රටවල් බොහොමයක එකඟතාවය ද ඊට ලබාගනිමිනි.
ඉන්දියාව ජපානය ඇතුළු කලාපයේ ප්රමුඛ ආර්ථිකයන් සමඟ එක් ව චීනයට එරෙහිව ශක්තිමත් නව භූ ආර්ථික රාමුවක් නිර්මාණය කිරීම මෙහි මූලික අභිලාෂය වුණා.
ලෝක ජනගහනයෙන් 60% ක් සහ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 40% ක් නියෝජනය කරන කලාපය අනාගත භූ දේශපාලනයේ සහ භූ-ආර්ථිකයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙනවා.
කලාපයේ සහ ඉන් ඔබ්බෙහි බොහෝ ජාතීන්ගේ ආර්ථික අවශ්‍යතා සහ අනාගත වර්ධනය බැඳී පවතින්නේ ඉන්දු-පැසිෆික් කලාපය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහ නිදහස් වෙළඳ ප්‍රවාහය මත වීම ඊට හේතුවයි.
බලපෑම නිරන්තරයෙන් ඉහළ යාමක් දකින්නට ලැබෙද්දී කලාපය පුරා මිලිටරි පැවැත්ම වැඩි කරමින් චීනය තම අසල්වැසි රටවලට සිදුකරන හිරිහැර කිරීම් පිළිබදව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.
නීති විරෝධී සමුද්‍ර හිමිකම් ඉදිරිපත් කිරීමට හා සමුද්‍රීය නැව් මාර්ගවලට තර්ජනය කිරීමට මෙන්ම මහජන චීන සමූහාණ්ඩුවේ පරිධියේ භූමිය අස්ථාවර කිරීමට මිලිටරි හා ආර්ථික බලය බලහත්කාරයෙන් භාවිතා කරනු ලැබු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
.එබැවින් චීනයේ මේ විවිධාකාර හැසිරීම්වලින් යුත් නැගීම ගැන සඳහන් නොකර ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලනය ගැන කතා කිරීම අසම්පූර්ණය.
චීනයය සහ කලාපයේ බොහෝ ජාතීන් අතර භෞමික ආරවුල් ඇතිව ඇති අතර සෙන්කාකු දූපත් වෙනුවෙන් ජපානය සමඟ තරඟ කරන අතර දකුණු චීන මුහුදේ ස්වෛරීත්වයට ද හිමිකම් කියනවා.
කෘත්‍රිම දූපත් නිර්මාණය කිරීම, ගුවන් තොටුපළවල් තැනීම සහ ස්ප්රැට්ලි දූපත්වල හමුදා කඳවුරු ගොඩනැගීමේ ද නිරත වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
බොහෝ අග්නිදිග ආසියාතික වෙරළබඩ රාජ්‍යයන් බිය ගැන්වීම සහ බලහත්කාරය පුළුල් කිරීමටත් ජාත්‍යන්තරය යටතේ ඔවුන්ගේ ස්වෛරී අයිතීන් ක්‍රියාත්මක කිරීමට ඔවුන් දරණ ප්‍රයත්නවලට වළ කැපීමට ද බීජිං දැන් භාවිත කරන්නේ එම ස්ථානයි. තව ද චීනය තායිවානයේ ස්වාධීනත්වයට අතපොවමින් දැනටමත් ගැටුම් නිර්මාණය කරගෙන තිබෙනවා.
ගැල්වාන් සිද්ධියෙන් පසු චීන-ඉන්දියා සබඳතා ද තීරණාත්මක ස්ථානයට පැමිණ ඇති අතර මේ ඕනෑම එකක් කලාපයේ ගැටුම් උත්සන්න කිරීමට මෙන්ම අස්ථාවර කිරීමට ඕනෑම මොහොතක බලපෑම් කළ හැකි බව ලෝකයේ භූදේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
බීජිංහි එක් තීරයක් එක් මාවතක් වැඩසටහන (BRI) ඔවුන්ගේ එම ව්‍යාප්තිවාදී අභිලාෂයන් සැබෑ කර ගැනීමේ ප්‍රධාන උපකරණය වනවා.චීන ශ්‍රමය, ද්‍රව්‍ය හා අරමුදල් උපයෝගී කරගත් මෙම ව්‍යාපෘති බොහොමයක ආර්ථික ශක්‍යතාව ලබන්නන් මේ වන විට ණයක පැටලී සිටින බව කිව හැකියි.මෑතම උදාහරණය ලෙස යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍යමය වශයෙන් චීනයෙන් ණය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ද මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා.
චීනය දැනටමත් හම්බන්තොට වරාය වසර 99කට බදු පදනම මත පවරාගෙන ඇති අතර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා සාකච්ඡා කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඔවුන් පසෙකට කර දමා ඇති අතර මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අර්බුදය උග්රවෙමින් තිබෙනවා.
ආර්ථික, තාක්ෂණික, මිලිටරි සහ දේශපාලන බලාගාරයක් ලෙස චීනයේ නැගීම බල තුලනයේ භූගෝලීය වෙනසක් ඇති කිරීමට හේතු වී තිබෙනවා.
ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව, සහ ස්ථාවරත්වය සඳහා උපායශීලීව චීනයේ නැගීම කළමනාකරණය කිරීම ඉතා වැදගත් වනු ඇතැයි තර්ක කෙරෙන්නේ එබැවින්.
රුසියාවේ යුක්රේන ආක්‍රමණය සහ බටහිර ලෝකයේ ප්‍රතිචාරය ඉන්දු පැසිෆික් කලාපයේ බල අරගලයට තවත් මානයක් එක් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.. බෙයිජිං සහ මොස්කව් අතර සමීප සබඳතා ගෝලීය බෙදීම තුළ අනාගතයේදී බරපතල ඇඟවුම් ඇති කළ හැකිය.
අනෙක් අතට, එක්සත් ජනපදය චීනයේ විශාලතම වෙළඳ හවුල්කරු වන අතර චීනයට ඇමරිකානු ඩොලර් බිලියන 396 ක විශාල ද්විපාර්ශ්වික වෙළඳ අතිරික්තයක් ඇතැයි පැවසෙයි. එම සන්දර්භය තුළ එක්සත් ජනපදය සමඟ එහි වෙළඳ අතිරික්තය සහ රුසියාව සමඟ සබඳතා තුලනය කිරීම චීනයට අභියෝගාත්මක වනු ඇති.
යුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීමට බටහිර ලෝකය දක්වන අකමැත්ත චීනය ද ධෛර්යමත් කළ හැකිය.මෙම නව භූ දේශපාලන පරිසරය තුළ ඉන්දියාවට සිදුවනු ඇත්තේ ප්‍රවේශමෙන් අඩිය තැබීමටත් චංචල දියේ ප්‍රවේශමෙන් සැරිසැරීමටත් ය.
ඉන්දු පැසිෆික් කලාපය ලෝක ආර්ථිකයට සහ ආරක්ෂාවට ඉතා වැදගත් වන්නේ මෙවන් පසුබිමකය. චීනයේ අරමුණ වී ඇත්තේ ආධිපත්‍යය දදැරීම මගින් අහිමි වූ කීර්තිය යළි ලබා ගැනීම බව ඇතැම් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
එබැවින්, චීනයේ නැගීම ඉන්දු පැසිෆික් සහ ඉන් ඔබ්බෙහි ජාතීන්ට අභියෝගයක් වීම වැළැක්විය නොහැකි බවත් රටවල් කිහිපයක් සහ කලාපීය කණ්ඩායම් එක් වී ඊට වැට බැඳීම යනු චීනයට සැබවින්ම අභියෝගයක් බවත් එම මාධ්‍ය පෙන්වා දෙනවා.
ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව සම්බන්ධිත ආර්ථිකය,ඔරොත්තු දෙන ආර්ථිකය,පිරිසිදු ආර්ථිකය හා සාධාරණ ආර්ථිකය ලෙස ප්‍රධාන කුළුණු හතරකින් සමන්විතව නිර්මණය වීමට නියමිතය. ඒ හරහා සිදු කෙරෙන ආර්ථික ගණුදෙනු ඔස්සේ සහභාගීවන ජාතීන්ට චීනය මත ඔවුන්ගේ ආර්ථික යැපීම අඩු කිරීම පිළිබඳ පැහැදිලි සංඥාවක් නිකුත් කරන්නේය.
ජනාධිපති බයිඩන් සඳහන් කරන ආකාරයට එක්සත් ජනපදය මෙය දකින්නේ ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද ආර්ථික නායකත්වය පුළුල් කිරීමක් හා එහි ආර්ථිකයට ප්රතිලාභ ලබා දීමක් ලෙසයි. ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව විසින් කිසියම් විශේෂිත රටක ආධිපත්‍යයට වඩා තරඟකාරීත්වය සඳහා උසස් ප්‍රමිති හා නීති තීරණය කිරීමට අපේක්ෂා කෙරෙයි.
එය ප්‍රත්‍යස්ථ සැපයුම් දාමයන් කෙරෙහි අවධානය යොමු කිරීම සහ කලාපය උද්ධමන පීඩනවලින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස ද හැඳින්විය හැකියි.එබැවින් නැඟී එන චීනය සමඟ විචක්ෂණ ශෛලියකින් කටයුතු කිරීමට මෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ අන්‍යෝන්‍ය ආරක්ෂාව සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ද ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව සුබවාදී මාර්ගයක් වනු ඇති.