හම්බන්තොටට එන නැව නිසා ඇති වූ ආන්දෝලනය

හම්බන්තොටට එන නැව නිසා ඇති වූ ආන්දෝලනය

ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක තවත් අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා.

මේ අර්බුදය නිර්මාණය වන්නේ මේ දිනවල ආන්දෝලනයට ලක් වී තිබෙන හම්බන්තොට වරායට පැමිණීමට නියමිත යුවාන් වැන්ග් 5 නෞකාව වටායි.

විශේෂයෙන් ඉන්දීය සාගරයට චීන නෞකාවක් ඇතුලු වීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා දිගින් දිගටම පෙන්වා දුන්නා. ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධයෙන් වාචික විරෝධයක් ඉදිරිපත් කර තියෙනවා.

යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට ඇතුලු වීමට අවසර ලබා දුන් බව මේ වන විට තහවුරු කර අවසන්. ඒ අනුව අගෝස්තු 11 සිට 17 දක්වා නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම්ලන බව පැහැදිලියි.

ඉන්ධන හා සේවා පහසුකම් ලබා ගැනීම සඳහා එම නෞකාව පැමිණෙන බවයි මෙරට බලධාරීන් සඳහන් කළේ.

චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, රුසියාව, අමෙරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් මීට පෙරෙත් වාණිජ නෞකා වගේම නාවික හමුදා නෞකාත් පැමිණ ඇති බව ද බලධාරීන් පෙන්වා දෙනවා.

මෙවර චිනයෙන් කරන ලද ඉල්ලීමට අනුව අදාළ තක්සේරු කර අනුමැතිය ලබා දුන් බව ඔවුන් පෙන්වා දෙනවා.

චීන ධජය යටතේ යාත්‍රා කරනයුවාන් වැන්ග් 5 නෞකාව (IMO: 9413054) නෞකාව ඉදිකර තිබෙන්නේ මීට වසර 15කට (2007 වර්ෂයේ )පෙරයි.

ටොන් 11000 ක ධාරිතාවක් රැගෙන යා හැකි මේ නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් . පළල මීටර් 25.2 ක්.

යුවාන් වැන්ග් 5 කියන්නේ යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වන පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව ලෙස ජියැන්ග්නන් නැව් තටාකාංගනය විසින් නිර්මාණය කරන ලද්දක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම සඳහා යොදා ගන්නවා.

යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) උපායමාර්ගික ආධාරක බලකාය විසින් බවයි චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ.

මෙවන් නෞකාවක් ඉන්දීය සාගර කලාපයට ඇතුලු වීම පිළිබඳව ඉන්දියාව කණස්සල්ලට පත් ව ඇති අතර අභ්‍යවකාශ යානා සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ තාක්ෂණයෙන් සමන්විත යුවාන් වැන්ග් 5 පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාව ඔවුන් හඳුන්වන්නේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසයි.

‘නෞකාවේ ගුවන් ප්‍රවේශය කිලෝමීටර 750කට වඩා වැඩියි. ඉන් වක්‍රව අදහස් වන්නේ දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කූඩන්කුලම් වැනි ඉන්දීය දේශසීමා තුළ ඇති පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ හැකියි කියලයි. ඒ වගේම මෙම නෞකාවට කේරළ, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන වරායන් ද නිරීක්ෂණය කළ හැකියාව තිබෙනවා. දකුණු ඉන්දීය වරායන් හයක් පමණ චීනයේ අවධානයට ලක් වෙන්නත්, දකුණු ඉන්දියාව ආශ්‍රිතව ඇති වැදගත් මර්මස්ථානයන් පිළිබඳ තොරතුරු රැස් කර ගන්නත් මෙම නෞකාවට හැකි බව අමුතුවෙන් කියන්න ඕන නෑ.’ යනුවෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

මේ නෞකාව පැමිණෙන්නේ චීනය ඉදිකළ හම්බන්තොට වරායටයි. ආසියාවේ සිට යුරෝපයට යන ප්‍රධාන නැව් මාර්ගයට ආසන්නවම පිහිටි හම්බන්තොට වරාය ඉදිකළේ ඩොලර් බිලියන 1.5ක් වැය කරමින්, ඒ චීනය විසින්. එතරම් මුදලක් වැය කර වරායක් ඉදි කිරීමට චීනය උනන්දු වූයේ ඇයි ද යන්න පිළිබඳව බොහෝ දෙනා විවිධ මති මතාන්තර ඉදිරිපත් කර තිබුණා.

මේ ගැන ඉන්දියාව කණස්සල්ලට පළ කරන්නේ චීනය විසින් ඉන්දියාවට සමීප හමුදා කඳවුරක් හම්බන්තොට වරාය පාවිච්චි කරනු ඇති බවට වන සැකය හේතුවෙනුයි.

යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක බව අමුතුවෙන් විස්තර කළ යුතු නෑ. ඒ වගේම එම ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල(IMF) සමග එකඟතාවකට පැමිණීමට ඔන්න මෙන්න තිබියදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ මේ මාසය අවසානය වන විට IMF සමග කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනවා යනුවෙනුයි. ඊට මේ වන විට පවතින ප්‍රධාන බාධාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ද්විපාර්ශ්වික ණයදෙන්නා වන චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට මෙතෙක් කැමැත්ත දක්වා නොමැති වීම බවත් ඒ අතර වාර්තා වෙනවා. මේ හේතුවෙන් චීනයේ අදාළ කැමැත්ත ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුදුරු දිනයකදී චීනයේ විශේෂ සංචාරයක නිරතවීමත් නියමිතයි.

ඉන්දීය සාගර කලාපයටම චීනය එල්ල කරන බලපෑමත් සමග ඉන්දියාව නොසන්සුන් වී ඇති බවයි පැහැදිලි වන්නේ.

ශ්‍රී ලංකා රජය පවසන ලෙස ඉන්ධන හා සේවා ලබා පැමිණෙන මේ නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලනු ලබනවා. ඉන් අනතුරුව අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලය තුළ ඉන්දීය සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරීක්ෂණ, චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ සිදු කිරීමට නියමිතයි.

අසල්වැසි ඉන්දියාව කලාපයේ බලවතා බව තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අසීරුතම අවස්ථාවේ කොන්දේසි විරහිතව සහෝදරත්වයේ දෑත් දිගු කළ කාලයකි මේ.

පසුගිය මාස 06 තුළ පමණක් ඩොලර් බිලියන 04කට ආසන්න ඉන්දීය මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

කලාපය තුළ පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස ඉන්දියාව මෙම ගැටළුවට මැදිහත් වුන අතර ඉන්ධන, ආහාර, ඖෂධ ආදි වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ අත්‍යවශ්‍යතා සපුරමින් ඉන්දියාව කලාපීය වගකීම තව දුරටත් ඉටු කරමින් සිටී.

අයි. එම්. එෆ් පහසුකම ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට ඇති අවශ්‍යතාව එක් පැත්තක තියෙද්දී චීනය යුවාන් වැන්ග් 5 නෞකාව හරහා තම බලය පෙන්වීමනිසා ශ්‍රී ලංකාව ගිරයට හසු වූ පුවක් ගෙඩියේ තත්ත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය ද සඳහන් කර ඇත්තේ.

දැනටමත් දැරිය නොහැකි ණය බරකින් ශ්‍රී ලංකාව මිරිකෙන අතර චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ අවස්ථාවේ අත්‍යවශ්‍යම කරුණකි.. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය කෙබඳු වේදැයි චීනයේ පරීක්ෂාවට ලක් කරමින් සිටී.

2014 දී චීනයේ සබ්මැරීනයකට සහ යුද නැවකට කොළඹ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව ඉඩ දීම ගැන ඉන්දියාවේ දැඩිව විරෝධය පෑවේත් මේ ආකාරයටමය.

ඒ තර්ජනයක් වන්නේ ඉන්දියාවට පමණක් නොව ඉන්දීය සාගර කලාපයටම නිසයි.

‘අභ්‍යවකාශය ලුහුබැඳිය හැකි, අන්තර් මහාද්වීපික මිසයිල පද්ධතියක් ද සහිත නෞකාවක්’ වරායට පැමිණ ඉන්ධන ලබා ගෙන ආපසු ගියා කියා අතපිස දමා ගැනීමට මේ මොහොතේ හැකියාවක් නොමැත.

අසල්වැසියා පළමුව යන සංකල්පය අනුව ඉන්දියාව නිරන්තරයෙන් අප සමඟ සිට ගත් අයුරින්ම අසල්වැසියාගේ ජාතික ආරක්ෂාව ද තැකීමට අපට සිදුව තිබෙනවා.

ඒ කොටස ඉටු නොකොළහොත් ලංකාවේ අර්බුද තවත් වැඩිවීමත්, දැනට උදව්වට සිටින පාර්ශව අහිමිවීමත් හමුවේ ශ්‍රී ලංකාව අන්ත අසරණ තත්ත්වයකට පත් විමටත් ඉඩ ඇති බවද අමතක කළ යුතු නැත.

Share This