මහ සඟරුවන චීන නැව ගැන දරන අදහස

මහ සඟරුවන චීන නැව ගැන දරන අදහස

කුඩා දිවයිනක් වුවද ශ්‍රී ලංකාව කෙරෙහි පවතින ලෝක අවධානය අති විශාල වන අතර ඒ හේතුව නිසාම යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම ජාත්‍යන්තරයේම කතාබහට ලක්ව තිබෙනවා.

මෙය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක් බව ඉන්දියාව දිගින් දිගටම කරුණු දක්වමින් සිටිනවා.

මේ අතර රට තුළද යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම පිළිබඳව අදහස් පළ බ්වෙමින් ඇති අතර දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන්ද ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කර තිබෙනවා.

මේ තීරණාත්මක මේ අවස්ථාවේ දී යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට පැමිණීම ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමීන් වහන්සේ, මහා සංඝරත්නය සහ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනෝධ්‍ය සංඝ සභාව එය දැඩි ලෙස හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණා.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ එය ශ්‍රී ලංකාවේ ජාතික සහ උපායමාර්ගික ක්‍රියාමාර්ගවලට අහිතකර බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

ලෝකයේ සමහර කලාපයන්හි මේ වන විට පවතින නොසන්සුන්කාරී තත්ත්වය, ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති දරුණුතම ආර්ථික පසුබෑම, ජනතාව අතර පවතින නොසන්සුන්තාව සහ ඔවුන්ගේ අප්‍රකාශිත දුෂ්කරතා මෙන්ම විදෙස් රටවල් විසින් විවෘතව ප්‍රකාශ කරනු ලබන කනස්සල්ල මධ්‍යයේ මෙසේ චීන යුද නෞකාවක් පැමිණීම අනවශ්‍ය මෙන්ම පිළිගත නොහැකි කාර්යයක් බව උන් වහන්සේ ගේ නිවේදනය මඟින් අවධාරණය කර තිබෙනවා.

අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමීන් වහන්සේ ගේ නිවේදනයේ දැක්වෙන පරිදි මේ වන විටත් රට මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින නිසාත්, මෙම පියවර රටේ තත්ත්වය ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට පත් කරන නිසාත් නිහඩ නිරීක්ෂකයින් ලෙස සිටිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ දෛනික අවශ්‍යතාවයන් සඳහාවත් ප්‍රමාණවත් ඉන්ධන සපයා ගැනීමට නොහැකිව පවතින පරිසරයක් තුළ, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් පවා ඉන්දියාවට අමතර ගමනක් ගොස් ඉන්ධන ලබා ගනිමින් ගමානාන්තවලට ළඟා වන පරිසරයක් තුළ මෙවන් දැවැන්ත නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්ධන ලබා ගැනීමට යැයි පැවසීමම පිළිගත හැකි කරුණක් නොවන බව ආගමික නායකයින් ලෙස උන් වහන්සේ පෙන්වා දෙනවා.

මෙම නෞකාවේ පසුබිම පිළිබඳව මේ වන සාමාන්‍ය ජනතාව අතරද පවතින්නේ මනා දැනුවත්භාවයකි. චීන ධජය යටතේ යාත්‍රා කරනයුවාන් වැන්ග් 5 නෞකාව (IMO: 9413054) නෞකාව 2007 (වසර 15 කට පෙර) ඉදිකරන ලද්දකි. එහි ටොන් 11000 රැගෙන යා හැකි ධාරිතාවක් රැගෙන යා හැකි අතර නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් ද පළල මීටර් 25.2 ක්ද වේ.

යුවාන් වැන්ග් 5 යනු යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වන පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව වන අතර ජියැන්ග්නන් නැව් තටාකාංගනය විසින් නිර්මාණය කරන ලද්දකි.

චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම සඳහා යොදාගනී.

යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) උපායමාර්ගික ආධාරක බලකාය විසින් බව චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පෙනවා දෙනවා.

මෙවන් නෞකාවක් ඉන්දීය සාගර කලාපයට ඇතුලු වීම පිළිබඳව ඉන්දියාව කණස්සල්ලට පත් වන්නේ හේතු කාරණා රැසක් පෙන්වමිනුයි.අභ්‍යවකාශ යානා සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ තාක්ෂණයෙන් සමන්විත යුවාන් වැන්ග් 5 පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාව ඔවුන් හඳුන්වන්නේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසයි.

නෞකාවේ ගුවන් ප්‍රවේශය කිලෝමීටර 750කට වඩා වැඩි වන අතර ඉන් වක්‍රව අදහස් වන්නේ දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කූඩන්කුලම් වැනි ඉන්දීය දේශසීමා තුළ ඇති පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ හැකි බවයි. එසේම මෙම නෞකාවට කේරළ, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන වරායන් ද නිරීක්ෂණය කළ හැකිය. දකුණු ඉන්දීය වරායන් හයක් පමණ චීනයේ අවධානයට ලක් වනු ඇති අතර, දකුණු ඉන්දියාව ආශ්‍රිතව ඇති වැදගත් මර්මස්ථානයන් පිළිබඳ තොරතුරු මෙම නෞකාවට රැස්කර ගැනීමේ හැකියාව ඇති බව ඉන්දියාවේ අදහසයි.

මෙම නෞකාව පැමිණෙන්නේ චීනය විසින් ඉදිකරන ලද සහ චීනයට බදු දී ඇති හම්බන්තොට වරාය වෙතය. ආසියාවේ සිට යුරෝපයට යන ප්‍රධාන නැව් මාර්ගයට ආසන්නවම පිහිටි හම්බන්තොට වරාය ඉදිකරනු ලැබුවේ ඩොලර් බිලියන 1.5ක් වැය කරමිනි. හම්බන්තොට වරාය චීනය විසින් ඉන්දියාවට සමීප හමුදා කඳවුරක් ලෙස භාවිතා කරනු ඇති බව ඉන්දියාවට ඇති සැකයයි.

අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි, ශ්‍රී ලංකා අමරපුර වජිරවංශ පාර්ශවයේ වැඩ බලන මහනායක මහාචාර්ය අති පූජ්‍ය පල්ලෙකද්දේ රතනසාර ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන උග්‍ර ආර්ථික විතැන්වීමත්, ඒ ඔස්සේ උද්ධමනය ජයගනිමින් නැවත පුනරුද යුගයක් දැකීම අත්‍යවශ්‍ය කාලවකවානුවක , රටට ලැබෙන ඉහළතම රුකුල වන ජාත්‍යන්තර සහයෝගය මෙවැනි අදුරදර්ශී විදෙස් ගණුදෙණු නිසාවෙන් දුරස්වන බවයි. උන් වහන්සේගේ නිවේදනයට අනුව පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ තවමත් විවිධ අයුරින් විශාල වශයෙන් මානුෂීය ආධාර ලබාදෙන සමීපතම අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව ඒ පිළිබඳ දැඩි අවධානය හා කණස්සල්ල යොමු කොට ඇති පරිසරයක මෙම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර දීම නොකළ යුතු බවයි.

 

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහා සංඝරත්නයත්, මහජනතාවත් පවතින තත්වය හමුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මනා සිහියකින් සහ අවබෝධයකින් පසුවන අතර සැබෑ මිතුරන් සහ මිත්‍ර ප්‍රතිරූපකයන් කවුරුන්දැයි වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට මේ මොහොතේ දි උත්සුක විය යුතු බවයි.

සහෝදර ඉන්දියානු දේශය සේම, රුසියාව ඇතුලු බොහෝ බටහිර රටවල් පවා මිත්‍රශීලී ලෙසින් ඉන්ධන ගැටලු මෙන්ම ආර්ථික උද්ධමනය පාලනය කිරීම උදෙසා ශ්‍රී ලංකාව විෂයෙහි ලබාදෙන සහයෝගී ආධාර සහ උපකාර ඇවැසිම මොහොතෙන්දී ලැබෙමින් පවතින බවත් එවන් වකවානුවක මෙසේ චීන යුධ නෞකාවක් ඉන්ධන සහ වෙනත් අවශ්‍ය දේ ලබාගැනීමට බව පවසමින් මෙරටට සේන්දු වීම ඉන්දියාව ප්‍රමුඛ කලාපීය රටවල් කිහිපයකම දැඩි අවධානයට ලක් වී තිබීම යළි යළිත් ශ්‍රී ලංකාවේ අවධානයක ලක් කළ යුතු බව මහාචාර්ය අති පූජ්‍ය පල්ලෙකද්දේ රතනසාර ස්වාමීන් වහන්සේ ගේ අදහසයි.

විශේෂයෙන්ම ආර්ථික අර්බුද වලින් අපට සහන සැලසීමට වෙරදරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බොහෝ මිත්‍රශීලී රටවල් හා ඇති සබඳතා මින් පලුදුවීමට ඇති ඉඩ පුළුල්වීම මත මහා සංඝරත්නය ලෙස මුනිවත රැකිය නොහැකි බව උන් වහන්සේ සඳහන් කර තිබෙනවා.ඉන්දීය කලාපයේ අභ්‍යවකාශ, චන්ද්‍රිකා සහ අනෙකුත් අධ්‍යයනය කරන්නට තරම් තාක්ෂණයෙන් උසස් පහසුකම් සහිත වූ මෙම නෞකාව ඉන්ධන පිරවීමට, දැඩි ඉන්ධන අර්බුදයක් පවතින ශ්‍රී ලංකාවට මේ මොහොතේ පැමිණීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැකි අතර එයට හේතූ වටහාගැනීමට ද අපහසු බව උන් වහන්සේද පෙන්වා දෙනවා.

පොදු ප්‍රවාහනය සහ පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා පවා ඉන්ධන ලබාගැනීමට ජනතාව දිනගනන් පෝලිම්වල රැදී සිටින මෙවන් වකවානුවක මෙවැනි නෞකාවක් ඉන්ධන ලබාගැනීමට ශ්‍රී ලංකාවට සේන්දු වීම විස්මය දනවන කාරණයක් බව මහාචාර්ය අති පූජ්‍ය පල්ලෙකද්දේ රතනසාර ස්වාමීන් වහන්සේ ගේ ප්‍රකාශයේ ද පැහැදිලිය සඳහන් කර තිබෙනවා.

 

Share This