ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවත් සමග කරලියට එන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අර්බුදය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර පැවැත්වෙන සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද සහභාගී වී සිටින බව වාර්තා වනවා,
එම අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 31 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ඇද වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ යෑමට ඇති එකම මග වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම බලාපොරොත්තු වූ තරම් පහසු කාර්යයක් වී නොමැති බව මේ වන විට අවබෝධ වී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා දීමට නම් ඔවුන්ගේ ප්‍රධාන යෝජනාව වන ණය ප්‍රතිව්‍යුහගතකරණය අනිවාර්ය වන අතර මුලදී එය ඉතා සුළු හා පහසු කාර්යයක් ලෙස දුටුවද තවමත් ඒ සඳහා පදනමවත් සකස් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
ලෝකයේ ණයවල පොළිය වෙනුවෙන් ආදායමෙන් වැඩිම මුදලක් වියදම් කරන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ ඉහළ ස්ථානයකයි.
මෙම ණය ගෙවීමට පත්වන සෑම රජයකටම ඒ වන විට පවතින ප්‍රමාණයට වඩා අනිවාර්යයෙන් ණය ගැනීමට සිදු වනවා.
අඩු කාලයක් තුළදී ගෙවීමේ එකඟතාව සහිතව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ණය වැඩි පොළියට ගැනීමත් ආදායමක් නොලබන ව්‍යාපෘතිවල ඒවා ආයෝජනය කිරීමත් යන කරුණු මත ණය උගුලක පැටලී ඇති බව මේ වන විට දක්නට ලැබෙන වැදගත් සාක්ෂි වනවා.
ණය ලබාදීමේදී පෙන්වූ හිතෛශීභාවය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කාරණයේදීත් ඒ ආකාරයටම චීනයෙන් ලැබෙනු ඇතැයි සිතුවා ද ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී IMF නිලධාරියෙක් පැවසුවේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ ආක්‍රමණශීලී ලෙස කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ මාවත තවදුරටත් තීරණය කරන්නේ එම ක්‍රියාවලිය මත බව ඔහු එහිදී පෙන්වා දී තිබුණා.
චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීනයෙන් ගත් ණය ප්‍රතිව්‍යුහගත කර දෙන ලෙස ඉල්ලා සිටියා.ඒ අවස්ථාවේ දී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රතිචාර නොදැක් වූ නමුත් , පසුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන Global Times පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදෙමින් Chinese Academy of International Trade and Economic Cooperation ආයතනයේ ආර්ථික පර්යේෂක Song Wei චීනය ණය ප්‍රතිව්‍යූහගත කරන්න සූදානම් බව ප්‍රකාශ කර තිබුණා.
ඒ ලබා දී තිබෙන සනනාධාර ණය එසේත් නොමැති නම් පොළී නැති දීර්ගකාලීන ණය පමණඑක් ප්‍රතිව්‍යූහගත කිරීමට චීනය කැමති බව පවසමිනි.
ඔහු එහිදී අවධාරණය කර තිබුණේ වාණිජ ණය කිසිසේත්ම ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවයි.
ශ්‍රී ලංකාව විදේශ ණය ගත් රටවල් මොනවාද යන්න සහ එම ගිවිසුම්වල ස්වභාවය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් වැදගත් වනවා.
ඒ අනුව මේ වන විට දේශීය හා විදේශීය මුදල් ඇතුළුව ශ්‍රී ලංකා රජයේ ණය අමෙරිකානු ඩොලර් බිලියන 81 ඉක්මවනු ඇති බවට අපේක්ෂිතයි.
රජයේ පොලී ගෙවීම් බිල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් පමණ වන ලෝකයේ ඉහළම අගයන් අතර පවතින බව මෑතකදී හෙළිදරව් කෙරිණි.
2009 දී ඩොලර් බිලියන 1.3 ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB), ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ වාර්ෂික විදේශ ණය ගෙවීම් සහිත ඇතැම් ඒකාබද්ධ ණය 2020 වසර වන විට ඩොලර් බිලියන 4.1 දක්වා වැඩි වී තිබෙනවා.
මෙහිදී ප්‍රධාන බාහිර ණය ප්රභවය වන පුද්ගලික ණය හිමියන්ට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 12.3ක් ණය බව අවධාරණය කළ යුතුයි.
තවත් ඩොලර් බිලියන 9ක් බහුපාර්ශ්වික ණය සඳහා ද, ඩොලර් බිලියන 5.6ක් චීනය හැර ද්විපාර්ශ්වික ණය හිමියන්ට ද, ඩොලර් බිලියන 5ක් චීනයට සහ ඩොලර් බිලියන 3.5ක් ජපානයටද ගෙවීමට ඇති බව දළ වශයෙන් කිව හැකියි.
ඒ අනුව ශ්‍රී ලංකා රජයේ සමස්ත ණයවලින් 6.2%ක් පමණ චීනය සතු වේ.
මේ අතරින් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 670ක් රාජ්‍ය ණය වේ.
නමුත් බහුතරය ණය චීනයේ එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුව වැනි රාජ්‍ය ආයතන හරහා ලබා දුන් ණයයි. එය ඩොලර් බිලියන 7ද ඉක්මවූ ප්රමාණයකි.
අඩු කාලයක් තුළදී ගෙවීමේ එකඟතාව සහිතව ලබා ගත් මේ ණය යොදවා ඇති ව්‍යාපෘති නම් මහාමාර්ග හා දක්ෂිණ හා මධ්‍යම අධිවේගයේ කොටස්ද ඇතුළු අධිවේගි මාර්ග, වරාය, ගුවන් තොටුපොල, සම්මන්ත්රණ ශාලා, විදුලි සංදේශ කුළුණුයි.
කෙසේ වුවද ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම අසීරු කාර්යයක් බව පිළිගත යුතුයි. ඊට හේතුව ද්වීපාර්ශ්වික ණයක් ප්‍රතිව්‍යුගත කිරීමේදී පැරිස් සමුලුවේ (Paris Club) රටවල ණය ප්‍රතිව්‍යුගත කළ යුතු වන්නේ පැරිස් සමුලුවේදි පමණි. ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් අතරින් ජපානය, ප්‍රංශය වැනි රටවල් පැරිස් සමුලුවේ සාමාජික රටවල් වන නමුත් චීනය සහ ඉන්දියාව පැරිස් සමුලුවේ රටවල් නොවේ.
ණය ප්‍රතිව්‍යුගත කිරිම සියළු රටවල්වලට එකම ප්‍රමාණයකින් සහ ඊට අනුරූප වෙන ආකාරයට ප්‍රතිව්‍යුගත කළ යුතුය. එක් රටක් පමණක් ඔවුන්ගේ රටේ ණය පමණක් ප්‍රතිව්‍යුගත කිරීමට කිසි සේත්ම එකඟ නොවනු ඇති.
චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස කළ ඉල්ලීමේදී චීනයේ Academy of Regional and Global Governance of the Beijing Foreign Studies University හි Long Xingchun ප්‍රකාශ කර ඇත්තේ චීනය එසේ කරන්නේ නම් ඉන්දියාව, ඇමරිකාව සහ ජපානයත් ණය ප්‍රතිව්‍යුගත කළ යුතු බවයි.
ඒ අනුව ජපානය ඇතුලු පැරිස් සමුලුවේ රටවල් සමඟ වෙන් වශයෙන් සාකච්ඡා කර ඔවුන් එකඟ වන ප්‍රතිව්‍යුගත කිරීම් ආකෘතියට ඉන්දියාව චීනය ඇතුලු පැරිස් සමුලුවට පිටින් සිටින රටවල් කැමති කරවා ගැනීමට සිදු වනවා.
එසේ නොමැති නම් මුලින්ම පැරිස් සමුළුවට පිටින් සිටින රටවල් සමඟ සාකච්ඡා කර ඔවුන් කැමති ණය ප්‍රතිව්‍යුගත කිරීමකට පැරිස් සමුළුවේ රටවල් කැමති කරවා ගත යුතුය. භූදේශපාළන කාරණා සමඟ මෙම සාකච්ඡා ක්‍රම දෙකම ඉතා සංකීර්ණ බව වටහා ගැනීම අපහසු නොවේ.
මෙහිදී අවධාරණය ලක් කළ යුතු තවත් කරුණකි.එනම් ශ්‍රී ලංකා රජය ගත් ණයට අමතරව රජයට අයත් ව්‍යාපාර ගත් ණයත් තිබෙන බවයි. උදහරණය ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය , ඛණිජ තෙල් නීතිගත සංස්ථාව , ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි ආයතනවල ණය හෙලිදරව් කර ඒවාද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වනවා,
එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටේ ණයවලින් කොතරම් ප්‍රමාණයක් ණය හිමියන් දරා ගත යුතුද යන්න ස්වාධීනව ආර්ථික විශ්ලේෂණයක් කිරීමට අවශ්‍යය වන අතර එවන් විශ්ලේෂණයක් කළ හැකි ආයතයක් ලෙස ලොව දැනට පිළිගෙන ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පමණි.
පසුගිය අප්‍රේල් 12 වැනි දින බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත ගෙවීම් හැර විදේශ ණය ආපසු ගෙවීම නතර කරමින්, ශ්‍රී ලංකා රජය ඒකපාර්ශ්වික ණය නැවතීමක් ප්‍රකාශයට පත් කළේ මෙරට මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් කිව හොත් නිවැරදිය.
තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අරමුදලක් දීර්ඝ කිරීමේ එකඟතාවයකට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එන්නට නොහැකි වී ඇති නමුත් එදින සිටම මේ අර්බුදය විසඳා ගැනීමේ සාකච්ඡා අඛණ්ඩවම පැවතිණ.
විධායක මණ්ඩලය වැඩපිළිවෙලක් පිළිගෙන තවදුරටත් මුදල් ගෙවනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රමාණවත් අරමුදල් ඇපකර තිබේ නම් සහ එහි ප්‍රධාන කොටස් හිමියන් ශ්‍රී ලංකාව සිය ණයගැතියන්ට සාධාරණ ලෙස සලකනු ඇතැයි විශ්වාස කරන්නේ නම් පමණක් බව මේ වන විට පැහැදිලි වී තිබෙනවා.
එතෙක් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් බහුපාර්ශ්විකයන් ශ්‍රී ලංකාවට අමතර මුදල් ණයට දීමෙන් වලකිනු ඇති බවද පැහැදිලිය.