රැජිනගේ දේහය අද බැල්මොරාල් සිට එඩින්බරෝහි ශාන්ත හිල්ස් ආසන දෙව්මැදුර වෙත

රැජිනගේ දේහය අද බැල්මොරාල් සිට එඩින්බරෝහි ශාන්ත හිල්ස් ආසන දෙව්මැදුර වෙත

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 19 වැනිදා වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීමට නියමිත බව එංගලන්තයේ රාජ්‍ය උත්සව භාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක නිල වශයෙන් නිවේදනය කළා.

මේ අතර, රැජිනගේ දේහය අද බැල්මොරාල් සිට එඩින්බරෝහි ශාන්ත හිල්ස් ආසන දෙව්මැදුර වෙත රැගෙන යාමට නියමිතයි.

දශක 07 කට ආසන්න කාලයක් රාජ්‍යත්වය හෙබවූ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සැප්තැම්බර් මස 19 වැනි සඳුදා දින සිදු කිරීමට නිල වශයෙන් තීරණය කර ඇති බව එංගලන්තයේ රාජ්‍ය උත්සවය භාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක දැනුම් දුන්නා.

ඒ අනුව අද රාජකීය අවමංගල්‍ය රථයකින් රැජිනගේ දේහය ඇබර්ඩීන්, ඩන්ඩී, පර්ත් යන නගර හරහා සැතපුම් 175 ක් ගමන් කිරීමෙන් පසු එඩින්බරෝහි හෙලිරූඩ්ස් මාලිගය වෙත රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.

මහජන ගෞරවය දැක්වීම පිණිස එඩින්බරෝහි තැන්පත් කෙරෙන දේහය අඟහරුවාදා දින ලන්ඩන්හි වෙස්ට්මිනිස්ටර් වෙත රැගෙන යාමට නියමිතයි.

ඈන් කුමරිය සිය මවගේ දේහය රැගත් ගුවන් යානයෙන් ලන්ඩනය බලා පිටත්වීමට සැලසුම් කර තිබෙනවා.

අඟහරුවාදා දින සිට දින 4 ක් මහජන ගෞරවය වෙනුවෙන් රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කෙරෙන බවයි රාජ්‍ය අවමංගල්‍ය සංවිධායකයින් දන්වා ඇත්තේ.

රැජිනගේ අවසන් කටයුතු “ඔපරේශන් ලන්ඩන් බ්‍රිජ්” නම් වූ විශේෂ සැලැස්මකට අනුව සිදු කෙරෙන අතර එය වසර ගණනාවකට පෙර රාජකීයයන් විසින් සැලසුම් කර තිබීමද විශේෂත්වයක්.

එම සැලැස්ම රජ පවුලේ සෑම සාමාජිකයෙකුටම අදාළ වූ කේත නාමයක් යටතේ සකස් කිරීම රාජ්‍ය සම්ප්‍රදායයි.

ඊයේ දින විලියම් සහ හැරී කුමරු ඔවුන්ගේ භාර්යාවන් සමඟ වින්ඩ්සර් මාලිගය අසලට රැස්ව සිටි ජනතාව හමුවී ඔවුන්ගේ කෘතවේදීත්වය පළ කළා.

මේ අතර, නව රාජාණ්ඩුව වන චාර්ල්ස් රජුට පක්‍ෂපාති වන බවට එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු නීති සම්පාදකයින් දිවුරුම් දී තිබෙනවා.

 

Share This