රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ආරාධනා ලැබූවන් සහ නොලැබූවන්

රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ආරාධනා ලැබූවන් සහ නොලැබූවන්

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන සැප්තැම්බර් 19 වනදා ඒ සඳහා සහභාගිවන සහ නොවන අය ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

දශක ගණනාවක් තිස්සේ එක්සත් රාජධානියේ සත්කාරකත්වය දරන රාජකීයයන්ගේ සහ දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් මෙන්ම ආරාධනා ලැබුවන්ගෙන් වෙස්ට්මිනිස්ටර් ශාලාව පිරී යනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ 2,200 දෙනෙකුට පමණ සහභාගී විය හැකි ඉඩක් පවතින බවත් රාජ්‍ය නායකයින් 500ක් පමණ සහභාගී වීමට නියමිත බවත් සඳහන් වනවා

නායකයින්ගෙන් බහුතරයකට වාණිජ ගුවන් ගමන් වලින් පැමිණෙන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් බටහිර ලන්ඩනය වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා

තවමත් සහභාගී වන අයගේ සම්පූර්ණ ලැයිස්තුවක් නොමැති අතර එය අද (15) දිනයේ අවසන් කරන බවද සඳහන් වනවා

ඉරානය, උතුරු කොරියාව සහ නිකරගුවාවට ආරාධනා කර ඇති නමුත් ඔවුන්ට එවිය හැක්කේ ඔවුන්ගේ තානාපතිවරුන් පමණක් බවද සඳහන් කර තිබෙනවා

බෙල්ජියමේ පිලිප් රජු සහ මැටිල්ඩ් රැජින සහභාගී වන බව දන්වා ඇති අතර , නෙදර්ලන්තයේ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු සහ ඔහුගේ බිරිඳ මැක්සිමා රැජින සහ ඔහුගේ මව, හිටපු ලන්දේසි රැජින බියට්‍රික්ස් කුමරිය ද සහභාගී වන බව දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය සහ මොනාකෝ රජ පවුල් මෙන්ම ස්පාඤ්ඤයේ ෆෙලිපේ රජු සහ ලෙටිසියා රැජිනද ආරාධනය පිළිගෙන අවමංගල්‍ය උත්සවයට පැමිණෙන බව තහවුරු කර තිබෙනවා

එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් සමග සහභාගී වන බව ධවල මන්දිරය තහවුරු කරනවා

රැජින සිය පාලන කාලය පුරාම ප්‍රධානියා ලෙස කටයුතු කළ පොදුරාජ්‍ය මණ්ඩලය පුරා සිටින නායකයින් සහභාගී වීමට නියමිත බවද සඳහන් වනවා

නවසීලන්ත අගමැතිනි Jacinda Ardern සහ කැනේඩියානු අගමැති Justin Trudeau මෙන් ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ආරාධනය පිළිගෙන තිබෙනවා

බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අවමංගල්‍ය උත්සවයේ ආරාධනා පිළිගෙන ඇති බව වාර්තා වන අතර ඉන්දියාව නියෝජනය කරමින් ජනාධිපති Drupadi Murmu සහභාගී වන බවද සඳහන් වනවා

ආරාධනය පිළිගත් බව කියන අනෙකුත් ලෝක නායකයන් අතර අයර්ලන්ත Taoiseach Micheal Martin, ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier සහ ඉතාලි ජනාධිපති Sergio Mattarella මෙන්ම යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-Yol සහ බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ද ඔවුන්ගේ පැමිණීම තහවුරු කරනවා

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොගන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ පැමිණීමද අපේක්ෂා කෙරෙනවා .

එක්සත් රාජධානිය සමග පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වන සිරියාව, වෙනිසියුලාව සහ ඇෆ්ගනිස්ථානයේ නියෝජිතයින්ට ආරාධනා කර නොමැති බව එක්සත් රාජධානියේ රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් බිබිසී පුවත් සේවය සඳහන් කරනවා

උතුරු කොරියාව (DPRK) සහ නිකරගුවාවට ආරාධනා කර ඇත්තේ තානාපතිවරුන් සඳහා පමණක් බවයි පැවසෙන්නේ

රුසියාව, බෙලරුසියාව සහ මියන්මාරය යන රටවලින් කිසිවෙකුටත් ආරාධනා කර නැහැ

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එක්සත් රාජධානිය සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටී ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම ගැන සළකා නොබලන බවයි.

 

Share This