පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම පීඩාවට ලක් වී සිටින්නේ රටේ දරුවන් – රෝහිණි කවිරත්න

පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම පීඩාවට ලක් වී සිටින්නේ රටේ දරුවන් – රෝහිණි කවිරත්න

පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම පීඩාවට ලක් වී සිටින්නේ මෙරට දරුවන් බව ළමයින් සඳහාවන පාර්ලිමේන්තු සංසදයේ නව සභාපති ධුරයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පවසනවා.

ළමයින් සඳහාවන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පත් කරන ලද්දේ උදය ගම්මන්පිල සහ කිංස් නෙල්සන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්.

එමෙන්ම, සංසදයේ සම උපසභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රෝහිණි කවිරත්න මහත්මිය සහ කිංස් නෙල්සන් මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන්.

සංසදයේ සම උප සභාපති ධුරයට පත් අනෙක් මන්ත්‍රීවරයා වූයේ වේලුකුමාර් මහතායි.

ඉහත පත්වීම් සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ දරුවන්ට යහපත් හෙට දවසක් උදාකර දීම සඳහා අදාළ අමාත්‍යාංශ හා වෙනත් ආයතන සම්බන්ධ කර ගනිමින් රටේ දරුවන් සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ඇති ළමයින් සඳහාවන පාර්ලිමේන්තු සංසදය ඊයේ (21) නවවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රථම වතාවට රැස්වූ අවස්ථාවේදීයි.

රැස්වීම ආරම්භ කරමින් සංසදයේ ලේකම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ හත්වැනි පාර්ලිමේන්තුවේදී ආරම්භ කරන ලද ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අටවැනි පාර්ලිමේන්තුවේදීත් සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි.

දරුවන්ගේ යහපැවැත්ම උදෙසා ප්‍රතිපත්ති වෙනස් කිරීම් හෝ නව ප්‍රතිපත්ති හඳුන්වාදීම සහ සියලුම දරුවන්ගේ යහපැවැත්මට අදාළ ප්‍රතිපත්ති නිතිපතා සමාලෝචනය කිරීම සහ සංශෝධනය කිරීම, ළමුන් සඳහා වැඩ කරන විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණය කිරීම මෙන්ම දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ වැඩි අවධානයක් යොමු කිරීමද මෙම සංසදයේ මූලික අරමුණු බවද නියෝජ්‍ය මහලේකම්වරිය සඳහන් කළා.

රැස්වීමට සහභාගී වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සමග ඉදිරියට කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කළේ සංසදයේ ඉදිරි කටයුතු පිළිබඳ යෝජනා මීලඟ රැස්වීම් දිනයේදී ඉදිරිපත් කළ හැකි බවයි.

Share This