රුසියාවට එරෙහි යෝජනාවකදී ඉන්දියාව නිහඩ වෙයි

රුසියාවට එරෙහි යෝජනාවකදී ඉන්දියාව නිහඩ වෙයි

 

යුක්‍රේනයේ කලාප 4 ක් රුසියාව සිය රටට ඈඳා ගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවට ගෙන ආ යෝජනාවකට අදාළව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවට ගෙන ආවේ අමෙරිකාව සහ ඇල්බේනියාවයි.

කෙසේවෙතත් ඉන්දියාවට අමතරව ගැබෝන්, බ්‍රසීලය සහ චීනය අදාළ යෝජනාව සදහා ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු වන රුසියාව සිය නිශේද බලය භාවිත කිරීම හේතුවෙන් අදාල යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රුසියාවට එරෙහි අමෙරිකානු යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එරට තානාපති ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් විසින් ඉදිරිපත් කර තිබුණා.

යුක්‍රේනය ඈඳා ගැනීම පිළිනොගන්නා ලෙස එමගින් අමෙරිකාව සාමාජික රටවලින් ඉල්ලා සිටි අතර රුසියාව යුක්රේනයේ සිටින සිය හමුදාව ඉවත් කර ගත යුතු බව ද අමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ අවධාරණය කර තිබෙනවා.

කෙසෙවෙතත් එහිදී ඉන්දියාවේ ස්ථාවරය වී ඇත්තේ වෙනස්කම් වලට හා ආරවුල් නිරාකරණය කිරීමට ඇති හොදම මාර්ගය සාකච්ඡා මාර්ගය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ් පැවසුවේ ප්‍රචණ්ඩත්වය සහ සතුරුකම් වහාම නැවැත්වීමට සියලු උත්සහයන් ගන්නා ලෙස අදාළ පාර්ශව වලින් ඉන්දියාව ඉල්ලා සිටින බවයි

Share This