අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අපරාධ ඉහළට

අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අපරාධ ඉහළට

රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන ආදිය ද වර්ධනය වෙමින් ඇති බව පොලිස් වාර්තා මගින් සඳහන් වනවා. මෙම වාතාවරණය තුළ රට තුළ විවිධ මට්ටමේ අපරාධ කල්ලි ව්‍යාප්තවී ඇති බවද විමර්ශන මගින් හෙළිව තිබෙනවා.

මෑත කාලීනව මූල්‍ය අක්‍රමිකතා වැඩි වශයෙන් වශයෙන් වාර්තා වන අතර ‘තිළිණි ප්‍රියමාලි’ සිදුවීම ඉන් එකක් පමණකි.එම වංචාව සඳහා ආරක්ෂාවද ලබාදී ඇත්තේ ඉහළම පිරිසක් බව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

මෙම තත්ත්වය මත ශ්‍රී ලාංකිකයන් පමණක් නොව, විදේශිකයන්ද නොයෙකුත් සුක්ෂම ආකාරයට රට තුළ විවිධාකාරයේ මුදල් ජාවාරම්වල වැඩි වැඩියෙන් නිරත වෙමින් සිටින බව හෙළිවෙමින්ඇති අතර නයිජිරියානු ජාතිකයන් සිදුකරන ‘ක්‍රෙඩිට් කාඩ් වංචාවන්’ එවැන්නකි.පිරමීඩ ජාවාරම ද දැන් යළිත් මෙරට මෙන්ම දකුණු ආසියාවේ වාර්තා වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මීට දින දෙකකට පෙර පරිගණක මෘදුකාංගයක් හරහා රුපියල් කෝටි 1,500කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතික යුවලක් කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම යුවළ මේ මස 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී බිලියන 1.4ක් සංසරණය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, මේ සිද්ධියේ විමර්ශන තවමත් ප්‍රාථමික අවධියේ පසු වන බවත් ප්‍රධාන සැකකරු වන ශ්‍රී ලාංකිකයකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ දුරකථනයේ වට්ස්ඇප් පණිවිඩයකින් මේ සම්බන්ධ කරුණු අනාවරණය වූ බවයි.

මෙසේ තාක්ෂණය භාවිත කරමින් සිදුකරන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව කලාපයේ වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන් පමණක් නොවේ.

මේ වන විට ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ද වංචා රාශියක්ම වාර්තා වෙමින් පවතිනවා.

පසුගිය ජුලි මාසයේදී විදෙස් රටක සමාගකට සම්බන්ධ බැංකු ගිණුම් 119 කට ආසන්න සංඛ්‍යාවක් හරහා මුදල් විශුද්ධිකරණය සිදුකර ඇති බව අනාවරණය වූ අතර ඊට සමගාමිව සමාගම් තුනක් බදු පැහැර හැරීම් සම්බන්ධයෙන් ද ඉන්දීය රජය විමර්ශනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඉන්දියාව තුළ විවිධාකාරයේ ණය ලබාදෙන බව පවසමින් ක්‍රියාත්මක යෙදුම් රැසක්ද පසුගිය වකවානුවේ වාර්තා වී ඇති අතර 2019 වසරේ සිට ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ කෝටි ගණනක මුදල් මෙම වංචනික යෙදුම් හරහා කොල්ලකා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

මෙම ණය යෙදුම් ව්‍යාපාරය මුලින්ම ඉන්දියාවේ ආරම්භ කළ කල්ලිය විශේෂයෙන් පසුගිය කොරෝනා වසංගතය අතරතුර වේගයෙන් ක්‍රියාත්මකවී තිබෙනවා.

ජනතාවට වසංගතය අතරතුර ඇතිවූ ආර්ථික දුෂ්කරතා උපයෝගී කරගෙන ඉතා පහසුවෙන් ණය ලබාදෙන බව ජංගම දුරකථන යෙදුම් හරහා මෙම පිරිස ප්‍රසිද්ධියට පත්කර ණය ආපසු අයකර ගැනීමේදී අධික පොලියක් අයකර තිබෙනවා.

ණය ලබාගත් පුද්ගලයන්ට විවිධ හිරිහැර කරමින් මෙම කණ්ඩායම් හැසිරී ඇති බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.

මෙම යෙදුම් භාවිතයේදී ව්‍යාජ ඉන්දියානු ලිපින භාවිත කර ඇති අතර, භාවිත කරන ලද විද්‍යුත් තැපැල් හැඳුනුම්පත් චීනය, හොංකොං සහ මැකාවු සිට ආරම්භ කෙරුණු ඒවා බව හෙළිවී තිබෙනවා.

මේ අතර ඇතැම් ණය ක්‍රම සමහර ප්‍රාන්තවල බහුලව ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සතියකට රුපියල් 400ක පොලියක් අයකරමින් රුපියල් 20,000 දක්වාවූ කෙටි කාලින ණය නිකුත් කර තිබුණා,

එම ණය ආපසු අයකර ගැනීම සඳහා ඉන්දීය ජාතිකයන් සැලකිය යුතු පිරිසක් සේවයට බඳවාගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවරින් වාර්තාවූ මෙවැනි සිදුවීමකදී ජංගම යෙදුමක් හරහා ප්‍රවර්ධනය කරමින් නීතිවිරෝධී ලෙස මිලියන ගණන් උපයා ගැනීම සම්බන්ධයෙන් චීන ජාතිකයකු ඇතුළු 05දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවඋපුටා දක්වමින් Daily Sangram වාර්තා කර ඇති ආකාරයට මෙම පුද්ගලයා අදාල අක්‍රමිකතාව හරහා බංග්ලාදේශ ටකා බිලියන 1.08 ක් උපයා ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙලෙස දකුණු ආසියාවේ පමණක් නොව අප්‍රිකානු කලාපයේද ඉහල තාක්ෂණය භාවිත කරමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා මේ වන විට බහුල ලෙස වර්ධනයවී ඇති අතර .මේ නිසාම වංචනිකයන්ට ඉතාම පහසුවෙන් ලොව බොහෝ ස්ථානවල සිය අක්‍රමිකතාවන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

Share This