G20 ලාංඡනය නෙළුම් මල

G20 ලාංඡනය නෙළුම් මල

G20 සංවිධානයේ සභාපතිත්වය සඳහා වන ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එළිදක්වා තිබෙනවා.

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන මෙහි සභාපතිත්වය ඉන්දියාවට ලැබීමට නියමිතයි.

ලාංඡනයේ සළකුණ වන්නේ නෙළුම් මල වන අතර, අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේ සඳහන් කර තිබෙනවා.

“මෙය කාලය පිලිබඳ බලාපොරොත්තුවේ නියෝජනයකි. කෙතරම් අහිතකර තත්ත්වයන් තිබුණත් තවමත් නෙළුම් පිපෙයි”

ඉන්දියාව G20 සංවිධානයේ සභාපතිත්වය හිමිකර ගනු ලබන්නේ සමකාලීන ඉතිහාසයේ තීරණාත්මක ලක්ෂ්‍යයක දීයි.

“ඉන්දියාවේ G20 සභාපතිධුරයට පැමිණෙන්නේ ලෝකයේ අර්බුද සහ අවුල් සහගත අවස්ථාවක ය. ශතවර්ෂයකට වරක් ඇතිවන කඩාකප්පල්කාරී වසංගත, ගැටුම් සහ බොහෝ ආර්ථික අවිනිශ්චිතතාවයේ පසු විපාක ලෝකය හරහා ගමන් කරයි” යැයි අගමැති මෝදි පෙන්වා දී තිබුණා.

2022 දෙසැම්බර් 01 වැනිදා සිට 2023 නොවැම්බර් 30 වැනිදා දක්වා G20 සභාපතිධුර කාලය තුළ, ඉන්දියාව පසුගිය වසර 75 තුළ ඉන්දියාවේ සංවර්ධන ගමන ඉස්මතු කරමින් විවිධ ක්ෂේත්‍ර 32ක් සම්බන්ධ රැස්වීම් 200ක් පමණ රට පුරා ස්ථාන කිහිපයකදී පැවැත්වීමට ඉලක්ක කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉදිරි වසර තුළ ලොව “ප්‍රමුඛ බලවතකුගේ” භූමිකාව ඉටු කිරීමට ඉන්දියාව උනන්දු වන අතර, මෙම සභාපතිධූරය ඉන්දියාවේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා වඩාත් සුදුසු අවස්ථාවක් නිර්මාණය කරදී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.

මේ මොහොතේ ලෝකය කම්පා කරවමින් පවතින අතර අභියෝග බහුල ය. කොවිඩ්-19 වසංගතය, රුසියාව-යුක්රේන ගැටුම සහ එක්සත් ජනපද-චීන තරගය සියල්ල පෙර නොවූ විරූ ආකාරයෙන් ලෝකය බිඳ දමමින් පවතිනවා.

පසුගිය දශක තුනක කාලය ඇතුලත ප්‍රක්ෂේපණය කළ බොහෝ උපකල්පනයන් බිඳවැටී ඇති අතර වෙනස්වන බල තුලනය, කඩිනම් තාක්‍ෂණික වෙනස්කම් සහ තවත් අනපේක්ෂිත තත්වයන් සමගින් නිර්මාණය වන පරිවර්තනයන් සමඟ ලෝකය පොරබදමින් සිටී.

මෙම පරිවර්තනයන් විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය සහ යුක්රේන ගැටුම මගින් උග්‍ර කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උද්ධමන පීඩනය, ආහාර හා බලශක්ති අර්බුද සහ පුලුල්ව පැතිරුණු ආර්ථික පසුබෑම වර්ධනයවී තිබෙනවා.

තම පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා රටවල් වියරුවෙන් මෙන් තම භාණ්ඩාගාර පීරමින් සිටින අතර, ලෝකය තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමෙන් බොහෝ දුරස්වෙමින් සිටිනවා.

පෘථිවියේ පැවැත්ම දැවැන්ත දේශගුණික අර්බුදයකින් තර්ජනයට ලක්ව ඇති අවස්ථාවක G20 සංවිධානය, එම අභියෝග පිළිබඳව සාකච්ඡා කළහැකි සහ ඒවාට විසඳුම් නිර්මාණය කරගත හැකි ප්‍රමුඛතම වේදිකාවක් විය හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

G20 වේදිකාව විසින් සමකාලීන අභියෝගවලින් ලෝකය ගලවා ගනු ඇතැයි අපේක්ෂා කිරීම අධි අපේක්ෂාවක් විය හැකි වුවද, එහි සාමාජික රටවල් ලෝක ජනගහනයෙන් සියයට 67 කට නිවහන වන අතර, ඔවුන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 85 ට නොඅඩු සහ ගෝලීය වෙළඳාමෙන් සියයට 75 කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනවා.

එබැවින් G20 සංවිධානය හරහා ඵලදායී බහුපාර්ශ්විකත්වය පිළිබඳ විශ්වාසය පුනර්ජීවනය කිරීමේ හැකියාව ඇති අතර ඉන්දියාව නායකත්වය ලබාදීමට තෝරාගෙන ඇත්තේ මෙවැනි පසුබිමකය.

G20 සංවිධානය යනු සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ජාතීන් එකට එකතු කර, ගෝලීය පාලන අභියෝග සඳහා සාකච්ඡා කිරීමට සහ විසඳුම් නිර්මාණය කිරීමට තරම් සුවිශේෂී සංසදයකි. ප්‍රධාන ගෝලීය ප්‍රශ්න සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමෙන් මෙම භේදය ඵලදායී ලෙස සමනය කළ හැකි වීම විශේෂත්වයක් වනවා.

ඉන්දීය අගමැති මෝදිගේ මෙම වසරේ ලෝක සංචාර රැසකදීම “මෙය යුද්ධයේ කාලයක් නොවේ” යැයි අවධාරණය කරමින් යුක්රේන යුද්ධය ලොවට ඵලදායි නොවන බව සඳහන් කළ අතර ගෝලීය දකුණේ අභිලාෂයන් වෙනුවෙන් ද අදහස් දක්වා තිබෙනවා.

එය එක් අතකින් ලොව දකුණේ බලවත් රාජයන් රැසකට සිය දුක්ගැනවිලි ලොවට කීමට පවතින නොහැකියාව වෙනුවෙන් කරන ලද නියෝජනයක්ද වශයෙන් හඳුනාගත හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ගෝලීය විනාශකාරී සුළං බොහෝවිට පළමුවෙන් අවශෝෂණය කරගනු ලබන්නේ අඩු වරප්‍රසාදිත සහ සංවර්ධනයෙන් ඌණ රාජයන් විසින් වන අතර එහිදී බලවතුන් අතලොස්සක් පමණක් එම පීඩනයෙන් කොටසක් තමන් වෙත කැමැත්තක් දක්වනවා.

ඉන්දියාව බොහෝවිට එම භූමිකාව නිරුපනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.මෑත වසරවලදී, ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, ලෝක වෙළඳ සංවිධානය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය යන බහුවිධ ගෝලීය සංසදවලදී ඔවුන්ගේ උත්සාහයන් වඩාත් ප්‍රබල ලෙස ප්‍රදර්ශනය කර තිබෙනවා.

මේ වන විට අනාවරණය කර ඇති ආකාරයට, G20 සිය සභාපතිත්වය යටතේ, ඉන්දියාව පහත සඳහන් ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට සූදානමින් සිටී. ඒවා නම්; කාන්තා සවිබල ගැන්වීම, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක, දේශගුණික මූල්‍යකරණය, ගෝලීය ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, හරිත හයිඩ්‍රජන්, ආපදා අවදානම අඩු කිරීම හා ඔරොත්තු දීමේ හැකියාව, ආර්ථික අපරාධ සහ බහුපාර්ශ්වික ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් කිරීමයි.

G20 සභාපතිත්වයේ අරමුණ වනුයේ ලෝකය ධ්‍රැවීකරණයෙන් ඈත් වී වැඩි සහයෝගීතාවයේ හැඟීමක් කරා රැගෙන යෑමයි.. 2023 වසර සඳහා G20 සංවිධානයේ තේමා පාඨය ලෙස තෝරාගෙන ඇත්තේ, ‘එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්’ යන තේමාවයි.

මෙවැනි අභිමතාර්ථ මුදුන්පත් කරගැනීමේදී තමන් හුදු කතාවට පමණක් සීමාවී නැති බව ඔවුන් මෑත අතීතයේදී පැහැදිලිව තහවුරු කර තිබෙනවා.

විශේෂයෙන් 2020 ආරම්හයේදී කොවිඩ්-19 වසංගතය අභියෝගාත්මකව පැමිණෙද්දී බොහෝ සංවර්ධිත ජාතීන් සිය අභ්‍යන්තරය වෙත පමණක් අවධානය යොමු කළ ද අන්තර්ජාතික ප්‍රජාව එක්ව වැඩ කිරීමේ සහ අවම සම්පත් සමග අරගල කරන අයට උපකාර කිරීමේ අවශ්‍යතාව පිලිබඳව ඔවුන් පෙන්වා දී තිබුණා.

ඒ අනුව G20 වගකීමත් සමග, ගෝලීය අනුපිළිවෙලෙහි පවතින මෙම අර්බුදය මධ්‍යයේ, එම අභියෝගයන්ට පිළිතුරු දීමේ අවස්ථාව ඉන්දියාවට උදාවී තිබෙනවා.

ගෝලීයව මහා කැළඹිලි සහිත අවස්ථාවක, ලොව ක්‍රියාත්මක ඉහළම මට්ටමේ අන්තර්ජාතික වේදිකාවන්ගෙන් එකකට මෙලෙස සත්කාරකත්වය දැක්වීමට ඉදිරිපත් වීමෙන් ඇඟවුම් කර ඇත්තේ විශාල ලෙස සිතීමට සහ විශාල දේ ලබා දීමට ඇති සූදානම බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share This