ඇෆ්ගනිස්ථාන ස්පින් බෝල්ඩාක්හි ඩුරන්ඩ් දේශසීමාවේ ගැටුම්

ඇෆ්ගනිස්ථාන ස්පින් බෝල්ඩාක්හි ඩුරන්ඩ් දේශසීමාවේ ගැටුම්

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් හමුදාව සහ පාකිස්ථාන හමුදාව අතර ගැටුම් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් වාර්තා පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයේ ස්පින් බෝල්ඩාක්හි ඩුරන්ඩ් දේශසීමාවේ මෙලෙස ගැටුම් පවතින බවයි.

කන්දහාර් හි අණදෙන නිලධාරී මව්ලාවි මොහමඩ් හෂීම් මහමුද් විසින් TOLO news වෙත මේ බව තහවුරු කර තිබෙනවා.

එහෙත් පවතින තත්ත්වය හෝ සිදුව ඇති ජීවිත හානි පිළිබඳ අනාවරණ කර නැහැ.

ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක බලධාරීන් සඳහන් කර ඇත්තේ කන්දහාර් ප්‍රාන්තයේ ස්පින් බෝල්ඩාක්හි දී පාකිස්ථාන හමුදාව විසින් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි.

එහෙත් ඕනෑම ගැටලුවක් සඳහා විසඳුම් ගෙන ඒම වෙනුවෙන් සාකච්ඡා මාර්ගයකට එළඹීමට තලෙයිබාන් සංවිධානය සලකා බලමින් සිටින බවත් ගැටුම් සහ යුද්ධය සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම කැමැත්ත නොවන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත්තේ ගැටුම්වලින් තුවාල ලැබූ සිව්දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

ගැටුම් පවතින ප්‍රදේශයේ වෙසෙන වැසියන් පවසන්නේ එක් සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්ව 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

සිවිල් වැසියන්ට අනුව තලෙයිබාන් හමුදාව ඩූරන්ඩ් දේශසීමාව ආසන්නයේ මුරපලක් ඉදිකිරීමට උත්සහ කිරීමත් සමග මෙම ගැටුම් හටගෙන තිබෙනවා.

ගතවූ සතිය ඇතුලත දෙපාර්ශ්වය අතර ගැටුම් හටගත් දෙවන අවස්ථාව මෙයයි.

Share This