ඇෆ්ගනිස්තානයේ සෞඛ්‍ය පද්ධතිය අවදානමක

ඇෆ්ගනිස්තානයේ සෞඛ්‍ය පද්ධතිය අවදානමක

කාන්තාවන්ගේ උසස් අධ්‍යාපනය තහනම් කිරීමට තලේබාන් සංවිධානය ගත් තීරණය හමුවේ එරට අධ්‍යාපන ආයතන තවදුරටත් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඊට හේතුව වන්නේ අදාල ආයතනය ආර්ථික වශයෙන් පසුබෑමට ලක්වීම හරහා ඒ හරහා ආයතනවල පැවැත්ම කඩා වැටීමට ලක්වීමේ අවධානමක් උද්ගතවීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එරට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල 140 ක් පමණ ස්ථාපිත කර තිබෙනවා.

පවතින තත්ත්වය අනුව ඉන් 35 ක් පමණ ආර්ථිකමය වශයෙන් කඩා වැටීමේ අවධානමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කාන්තාවන්ගේ උසස් අධ්‍යාපනය තහනම් කිරීම හමුවේ මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින තවත් උසස් අධ්‍යාපන ආයතනය රැසක් ඉදිරියේදී වසා දැමීමට සිදුවනු ඇතැයි ඇෆ්ගනිස්තානයේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල හිමිකරුවන් අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ඇෆ්ගන් කාන්තාවන් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම හරහා ද ඇෆ්ගනිස්තානයේ මානුෂීය මෙහෙයුම් සදහා මෙන්ම ආර්ථික ක්‍රියාවලියට ද බලපෑම් එල්ල වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කාන්තාවන් විසින් පමණක් සිදුකරන ජීවිතාරක්ෂක සේවා, මාතෘ හා දරු උපත් සේවා, මාතෘ සායන කටයුතු සදහා ද බලපෑම් එල්ල වී ඇති බැවින් ඇෆ්ගනිස්තානයේ සෞඛ්‍ය පද්ධතිය බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල මෙහෙයුම්වලදී කාන්තාවන් ප්‍රබල දායකත්වයක් දක්වනවා.

එම ආයතනවල මානුෂිය හා සංවර්ධන වැඩසටහන්වලදී කාන්තාවන් අත්‍යවශ්‍ය හවුල්කරුවන් ද වනවා.

එබැවින් ඔවුන් සේවයට කැදවීම තහනම් කිරීම බරපතල ගැටලුකාරී තත්ත්වයන් මතු කර ඇති බවයි රාජ්‍ය නොවන සංවිධාන පෙන්වා දෙන්නේ.

Share This