අවුන්සාන් සුකී තවත් වසර හතකට සිරගෙට

අවුන්සාන් සුකී තවත් වසර හතකට සිරගෙට

මියන්මාර හමුදා අධිකරණය විසින් අවුන්සාන් සුකීට තවත් වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව ඇයගේ සිර ගතවී සිටීමට තිබෙන සමස්ත කාලය වසර 33 දක්වා වැඩිකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

2021 පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් ඇගේ රජය නෙරපා හැරීමෙන් පසු අවුන්සාන් සුකී නිවාස අඩස්සියේ තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ඇය චෝදනා 19ක් යටතේ මාස 18ක කාලයක් නඩු විභාගවලට මුහුණ දී තිබෙනවා

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පසුගිය සතියේ ඇය නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රජයේ අමාත්‍යවරයෙකුට හෙලිකොප්ටරයක් කුලියට දීමේදී නීතිරීතිවලට අනුකූල නොවීම හේතුවෙන් ඇය දූෂණ චෝදනාවන්ට වරදකරු බවට එරට අධිකරණය තීන්දු කර තිබෙනවා

කොවිඩ් මහජන ආරක්ෂණ නීති කඩ කිරීම, වෝකි ටෝකි ආනයනය කිරීම සහ නිල රහස් පනත උල්ලංඝනය කිරීම ඇතුළු විවිධ අපරාධ 14කට ඇය දැනටමත් වරදකරු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම වසරේ ඇයගේ නඩු විභාග මහජනතාවට සහ මාධ්‍යයට ප්‍රවේශ වීම තහනම් කර ඇති අතර ඇයගේ නීතිඥයින්ට මාධ්‍යවේදීන් සමඟ කතා කිරීම ද තහනම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

77 හැවිරිදි අවුන්සාන් සුකීට එල්ල වී ඇති සියලුම චෝදනා ඇය ප්‍රතික්ෂේප කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

 

Share This