චීනයේ කොවිඩ් ගැන ලෝකයේ අවදානය

චීනයේ කොවිඩ් ගැන ලෝකයේ අවදානය

වසර තුනකට පමණ අනතුරුව ලබන සතියේ සිය දේශසීමා නැවත විවෘත කරන බව චීනය විසින් නිවේදනය කර තිබෙනවා.

එක්සත් ජනපදය විසින් ඒ සමග නිවේදනය කරන ලද්දේ චීනයෙන් පැමිණෙන අමුත්තන්ට කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බවයි.

ඊට සමගාමිව ඉතාලිය, ජපානය, තායිවානය සහ ඉන්දියාව ද චීන සංචාරකයන් සඳහා අනිවාර්ය කොවිඩ් පරීක්ෂණ ප්‍රකාශයට පත්කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

චීනය මේ වන විට දිනකට නව කොවිඩ් රෝගීන් 5,000 ක් පමණ නිල වශයෙන් වාර්තා කරන අතර ඇතැම් බටහිර මාධ්‍ය පවසන්නේ ප්‍රධාන නගර රැසක රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බවත් චීනයේ සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවත්ය.

චීනය, හොංකොං සහ මැකාවු සිට සිය රටට ඇතුළු වන සංචාරකයින් සඳහා ලබන ජනවාරි 05 වැනිදා සිට කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කිරීමට තීරණය කළ බව එක්සත් ජනපදය නිවේදනය කර ඇත්තේ ඒ අනුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ වෛරසය තම රට තුල නැවත පැතිරීම සහ නව ප්‍රභේදයන් මතුවීමේ අවදානම අවම කිරීම වෙනුවෙන් මෙම පියවර ගනුලබන බවයි.

කෙසේවෙතත් එක්සත් ජනපදයේ මෙම තීරණය විවේචනය කරමින් චීන විදේශ අමාත්‍යාංශය පසුගිය බදාදා කියා සිටියේ රටවල් විසින් නව කොවිඩ් නීති ස්ථාපිත කළ යුත්තේ “විද්‍යාත්මක” පදනමක් මත පමණක් වන අතර, බටහිර රටවල් සහ මාධ්‍ය මෙම තත්ත්වය අනවශ්‍ය ලෙස උලුප්පා දක්වමින් සිටින බවයි.

චීන සමාජ මාධ්‍ය වේදිකා සීමාවන් යටතේ වුවද පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පලවූ තොරතුරුවලට අනුව දැකගත හැකිවූයේ දිනෙන් දින ඉහළ යන ශ්වසන අපහසුතා පවතින රෝගීන්ගෙන් චප්‍රධාන නගරවල රෝහල් පිරී ඉතිරී යන බවයි.

දෙසැම්බර් 29වැනිදා නිල වශයෙන් චීන සෞඛ්‍ය අංශ නිකුත් කරන ලද වාර්තාවන්ට අනුව, දෙසැම්බර් මාසය පුරාවටම කොවිඩ් මරණ 13ක් පමණක් සිදුවී තිබෙනවා. වෛරසය හේතුවෙන් මරණ වාර්තා වුවද, චීනය කොවිඩ් මරණ ගණනය කරන්නේ, වෛරසය ශ්වසන අපහසුතාවයට සෘජු හේතුව නම් පමණක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

චීනය මේ වන විටත් මහා පරිමාණ PCR පරීක්ෂණ සිදුකිරීම නතර කර ඇති අතර, එය රෝගියාට කොවිඩ් රෝග ලක්ෂණ හෝ උණ තත්වයන් ඇතිනම් පමණක් PCR පරීක්ෂණ සිදුකරන ලෙසට රෝහල්වලට සහ උණ සායනවලට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රෝග ලක්ෂණ නොමැති අවස්ථා සහ නිවසේ පරීක්ෂණ කට්ටලවල උපයෝගී කරගෙන ස්වයංව ලබාගන්නා ධනාත්මක ප්‍රතිඵල රජයේ නිල දත්තවල සටහන් නොවන බවත් ඒ අනුව දැනට නිල වශයෙන් දිනකට රෝගීන් වාර්තා කෙරෙන්නේ සමස්ත රටටම අදාළ වන පරිදි 5,000ක අගයක් පමණක් බවත් මාධ්‍ය සඳහන් කරනවා.

එහෙත් එක්සත් රාජධානිය පදනම් කරගත් පර්යේෂණ සමාගමක් වන එයාර්ෆිනිටි පෙන්වාදෙන්නේ චීනයේ කොවිඩ් රෝගීන් ජනවාරි මාසයේදී දිනකට මිලියන තුනකට වඩා වැඩි විය හැකි බවට තම ආයතනය ඇස්තමේන්තු කර ඇති බවයි.

නිල සංඛ්‍යාව අඩු වුවද, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ, චීනයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්විය හැකි බවයි.

නත්තල් සමයේදී චීන රෝහල් පිරී ඉතිරී ගොස් ඇති ආකාරය සහ අන්තර් රැඳවුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව රෝගීන් සඳහා දිගු පෝලිම් පෙන්වන දර්ශන රොයිටර් ඇතුළු අන්තර්ජාතික පුවත්සේවා ගණනාවක් විසින් වාර්තා කර තිබුණා.

පැමිණෙන රෝගීන් සංඛ්‍යාව හතර ගුණයකින් වැඩි වීමත් සමඟ බීජිං හි චායැන්ග් රෝහල එහි හැකියාව ඉහළ නැංවීමට කඩිනමින් පියවර ගැනෙමින් පවතින බව තහවුරු කරගත් සමාජ මාධ්‍ය තොරතුරු උපුටා දක්වමින් සීසීටීවී වාර්තා කර ඇති අතර ෂැංහයි හි රෝහල් වෙනුවෙන් අමතර හදිසි ප්‍රතිකාර එකක ඇඳන් 230,000 ක් ලබා දී ඇති බව ද සඳහන් කරනවා.

කෙසේවෙතත්, චීනය රටින් පිටවන තොරතුරු දැඩි ලෙස පාලනය කරන බැවින් සාමාන්‍ය තත්ත්වය හා සසඳන විට මෙම නව තත්වය කෙතරම් දරුණුද යන්න තහවුරු කිරීම බාහිර ලෝකයට අපහසුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සමස්තයක් ලෙස සිය චීනය සිය කොවිඩ්-19 වෛරස මර්දන කටයුතු ලෝකයෙන් හුදෙකලාව ‘ශූන්‍ය කොවිඩ්’ ප්‍රතිපත්තියක් යටතේ පවත්වාගෙන ගියද, අද වන විට එම වැඩසටහන් අසාර්ථකවී ඇති බව එම මාධ්‍ය පෙන්වා දෙනවා.

වසර තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ගිය දැඩි මාර්ගෝපදේශ මීට සති දෙකකට පෙර ඉවත්කළ වහාම, නැවත වතාවක් රට තුල ශීඝ්‍රයෙන් වසංගතය පැතිර යමින් පවතිනවා.

මේ අතර සිය දේශසීමා නැවතත් සංචාරකයන්ට විවෘත කරන බවද චීනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය බෙයිජීංහි කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට චීන සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබුණා.

මේ අතර කොවිඩ් එන්නත් නිෂ්පාදකයකු වන ඉන්දියාව මේ මොහොතේ වෙනත් ප්‍රවේශයකින් චීනයට ‘උපකාර කිරීමට’ ඉදිර්පත්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර පසුගියදා ලොව ප්‍රබල G20 රටවල් කණ්ඩායමේ සභාපතිත්වයට පත් ඉන්දියාව, දේශීයව නිෂ්පාදනය කරන ලද එන්නත් තොගයක් චීනයේ වසංගත පාලනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.

පළමුවරට මෙම පරිත්‍යාගය පිලිබඳ කතාබහක් නිර්මාණය කරවන ලද්දේ ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික ආනන්ද් මහින්ද්‍රා විසින් වන අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන ලද්දේ, ඉන්දීය එන්නත් අතිරික්තයක් මේ වන විට රට තුල පවතින බැවින්, එම තොග චීනයට ලබා දිය යුතු බවයි. එම ට්විටර් පණිවිඩය කෙරෙහි ඉන්දීය මධ්‍යම රජයේ අවධානයද මේ වන විට යොමුව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබුණා.

Share This