ජාත්‍යන්තර සහාය හමුවේ ගොඩනැගෙන සබඳතා

ජාත්‍යන්තර සහාය හමුවේ ගොඩනැගෙන සබඳතා

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විදෙස් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන සහාය සම්බන්ධයෙන් ස්තුතිය පළ කර තිබෙනවා.

CNN-News 18 වැඩසටහන සමග එක්ව ඔහු සඳහන් කර ඇත්තේ
“ඉන්දියාව සෑම විටම මෙන් සැබෑ අසල්වැසියෙකු ලෙස පැමිණෙන්නේ මෙම දුෂ්කර අවස්ථාවේදීය. ඔවුන් මුල්‍ය අරමුදලට අවශ්‍යය පරිදි මෙම ප්‍රතිව්‍යුහගත කිරීම ලබා දුන්නේය. එබැවින් අපි ඉන්දියාවට සහ නරේන්ද්‍ර මෝදිගේ රජයට සහ අමාත්‍යවරයාට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර ශ්‍රී ලාංකිකයන් සැබවින්ම කෘතඥ වන බව දැනුම්දෙමු.” යැයි අලි සබ්‍රි ඇමතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

එම ප්‍රකාශයෙන් ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට කෙතරම් සමීප සහ අත්‍යවශ්‍ය අසල්වැසියකු හා ගෝලීය බලවතකුද යන්න පැහැදිලිව අවබෝධ කරගත හැකි කරුණක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දියාව පිළිබඳව සලකා බැලීමේදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වසර 2500 කට වැඩි ඉතිහාසයක් ඇති සමීප අසල්වැසියන් බවත්, එමනිසාම, ඉන්දියාව ලොව කුමන ස්ථානයකට පැමිණියද ශ්‍රී ලංකාව තවදුරටත් එහි සමීප සගයා බවත් වෙනස් නොවන බවත් ඔවුන් සඳහන් කරනවා.

අතීතයයේ සිටම දෙරට අතර අන්තර්ක්‍රියා දේශපාලන, ආර්ථික, උපායමාර්ගික, බුද්ධිමය, සංස්කෘතික, ආගමික සහ භාෂාමය සබඳතා හරහා විහිදෙන අතර ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා බොහෝවිට ගමන් කර ඇත්තේ ඉතා සුමට ආකාරයෙන් බවත් කෙසේවෙතත් දෙරටේ වත්මන් ස්ථාවරයන් තේරුම් ගැනීමට නම්, රාජ්‍යයන් දෙක ඔවුන්ගේ සබඳතා පවත්වන සන්දර්භය අවබෝධ කරගැනීම අවශ්‍යය බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

“සාම්ප්‍රදායිකව, දෙරටේ නිදහසින් පසු, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රධාන කරුණු හතරක් වටා සම්බන්ධවී ඇති බව දැකගත හැකිය. පළමුවැන්න ආරක්ෂාවයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති වසරවලදී ආරක්ෂාව පිළිබඳ ද්විපාර්ශ්වික සබඳතාව බොහෝ සේ දියුණු වී ඇත. දෙවැන්න යහපත් නොවුවද ධීවර ගැටලුවයි. පෝක් සමුද්‍ර සන්ධියේ මුහුදු සිමාවේ නාවික සැතපුම් 12 ක් සම්බන්ධයෙන් 1974-76 අතර කාලය තුළ රාජ්‍යයන් දෙක විසින් සමුද්‍ර සීමා ගිවිසුම් හතරක් අත්සන් කර ඇති නමුත් දෙපාර්ශ්වයම මෙම ගිවිසුම්වල නියමයන් සෑම විටම දැඩි ලෙස අනුගමනය කරන්නේ නැත. එහිදීද දැකගත හැක්කේ ගැටුම්කාරී වුවත්, එකිනෙකාට ප්‍රතිවිරුද්ධ නොවන, එසේම නිමානොවන “ඥාති අර්බුදයක්” මිස, එදිරිවාදිකමක් නොවන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

1987 ජූලි 29 වන දින අත්සන් කරන ලද ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳවද සිහිපත් කරන ඉන්දීය මාධ්‍ය, දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබාදෙමින් ඉන්දියාවද සෑම විටම එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටින බවයි පෙන්වා දෙන්නේ.

ආයෝජන පරිසරය තුළ ද ඉන්දියාව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ, එම ප්‍රතිවිරුද්ධාභාශයන් මත ගොඩනැගුනු යම් පමණක සීමාකිරීම් වෙනුවට ඉස්මතුව පැමිණෙන්නේ දෙරට අතර පවතින දැඩි ද්විපාර්ශ්වික සහයෝගීතාවන් බවයි . 2022 අසීරු මුල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ඉහළම ණය සහ ආධාර ලබාදෙන්නා බවට පත්වුයේ ඉන්දියාව බවත් ඉන්දියාව 2022 ජනවාරි සිට 2022 අප්‍රේල් දක්වා ඩොලර් මිලියන 377 ක ණය මුදලක්, ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 700 ක ණය මාර්ගයක් සහ ආහාර, ඖෂධ ප්‍රසම්පාදනය සඳහා ඩොලර් බිලියන 1 ක ණය පහසුකම් ඇතුළුව සම්පූර්ණ ණය ආධාර වශයෙන් ඩොලර් බිලියන 4 ක් ලබා දුන්මේ බවද ඔවුන් සඳහන් කරනවා.

දෙරටටම වසර 75ක නිදහස සම්පුර්ණවන මේ මොහොහොතේ, ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ වෙනස් වීම සහ මෑත කාලීන මූල්‍ය හා දේශපාලන අර්බුද හමුවේ “පළමු ප්‍රතිචාරකයා” ලෙස ඉන්දියාවේ භූමිකාව අසල්වැසියන් අතර වඩා හොඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

ශ්‍රී ලංකාව පසුවන්නේ සිය 75වන නිදහස් දින සැමරුමට දින කිහිපයක් නුදුරින් වුවද රට හමුවේ පවතින්නේ 1948දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූවාට පසුව ඉතිහාසයේ මුහුණදෙන දැවැන්තම ආර්ථික අභියෝගයයි.

ඉන්දියාව සම්බන්ධයෙන් වන ලෝකයේ දැක්ම කෙමෙන් වෙනස්වෙමින් පවතින බවත් ගෝලීය අර්බුදවලට විසඳුම් සෙවිය යුතු ගවේෂකයකු සහ උපදේශකයකු මෙන්ම මැදිහත්කරුවකු බවටද පත්වෙමින් සිටින බවත් එමනිසා අද ඉන්දියාව නැවත ‘භාරතයක්’ බවට පත්ව ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවන බව එම මාධ්‍යවල පෙන්වා දීමයි.

ඊට හේතුව ගෝලීය වෙනස්වීම්වලටත් වඩා වේගයෙන් වෙනස්කම්වලට භාජනයවී ඇති ‘පරිවර්තනය වූ ඉන්දියාව’, අද වන විට අතීතයේ පැවැති ‘භාරත්’ තත්ත්වයට නැවත පත්වෙමින් තිබෙන බැවින් බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

 

ඉන්දියාවද තම හැකියාවන් පිළිබඳව මෙන්ම, ඒ ඔස්සේ සිය යාබද ඓතිහාසික අසල්වැසියන්ට කෙතරම් දුරකට උපකාර අවශ්‍ය වන්නේද යන්න පිළිබඳවද හඳුනාගෙන සිටින අතර සිය 75වැනි නිදහස් දිනය ලොව ප්‍රබල G20 සංවිධානයේ සභාපතිධුරය හමුවේ සැමරීම විශේෂත්වයක්.

නිදසුනක් ලෙස මිට සති දෙකකට පෙර සිය G20 සභාපතිධුරය යටතේ දුෂ්කරතාවන්ට සහ අභියෝගයන්ට මුහුණදෙන ‘ගෝලීය දකුණ’ වෙනුවෙන් විශේෂිත සමුළුවක් ඉන්දියාව විසින් සංවිධානය කරන්නේද, එම අරමුණිනි.

Share This