සිරියානු වෛද්‍යවරයෙක් ලොව පුරා රටවලින් වෛද්‍ය ආධාර ඉල්ලයි (UPDATE 02)

සිරියානු වෛද්‍යවරයෙක් ලොව පුරා රටවලින් වෛද්‍ය ආධාර ඉල්ලයි (UPDATE 02)

උතුරු සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු වෛද්‍ය ආධාර වැඩි කරන ලෙස රටවල්වලින් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින උතුරු සිරියාවේ අල්-ෂිෆා සහ ඇට්මේ යන රෝහල්වල සේවය කරන වෛද්‍ය මොහොමඩ් හසූන් පවසා තිබෙන්නේ භූමිකම්පාවෙන් පසු පළමු දිනයේදී පමණක් රෝහල් දෙකේදීම පුද්ගලයින් 350 කට වැඩි පිරිසක් මිය ගිය බවයි.

සිරියාව සතුව ඇති වෛද්‍ය සැපයුම් උතුරු සිරියාවේ ජනතාවගෙන් 20% කගේ හෝ අවශ්‍යතා සම්පුර්ණ නොකරන බවද එම වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

තම පවුලේ අය තුර්කියේ මහල් නිවාසයක සුන්බුන්වලට යට වී සිරවී සිටින බවයි ඔහු පවසා ඇත්තේ

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සිරියාවේ රැඳී සිටීමට තමන් ගත් තීරණය පිළිබඳව සිත් වේදනා ඇතිවුවද වෛද්‍යවරයකු ලෙස සිතා තුවාල වූ සිය ගණනකට ප්‍රතිකාර කිරිමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

…………………………………………………………………………………

Feb 10, 2023 at 15:14

භූමිකම්පාවෙන් මියගිය ගණන 21,000 ඉක්මවයි -ආධාර රැගත් ලොරි 6ක් සිරියාවට (UPDATE 01)

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් 21,000 කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ලොරි හයක් පළමුවරට ආධාර රැගෙන තුර්කියේ සිට දේශසීමා හරහා සිරියාවට ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රිතාන්‍ය පුණ්‍යායතන විසින් විපතට පත් ජනතාව වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා ඉල්ලීම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපදය දෙරටටම ඩොලර් මිලියන 85 ක ආධාර ලබාදීමට පොරොන්දු වී ඇති අතර කලාපය පුරා මෙහෙයුම් කටයුතු තවදුරටත් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

……………………………………………….

Feb 10, 2023 at 10:24

‘ව්‍යසනය තවමත් අපගේ ඇස් ඉදිරිපිට දිග හැරෙයි’ – භූකම්පනයෙන් අහිමිවූ ජීවිත ගණන 20,000 පනී

තුර්කියේ සහ සිරියාවේ සඳුදා(06) ඇති වූ භූමිකම්පාවෙන් 20,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේවෙතත් ව්‍යසනයේ සම්පූර්ණ ප්‍රමාණය තවමත් අපැහැදිලි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙන්නේ.

තවමත් සුන්බුන් අතර සිරවී සිටින දිවි ගලවා ගත් අය සොයමින් සිටින නමුත් කම්පනය ඇති වී පැය 100 කට ආසන්න කාලයක් ගත වී ඇති බැවින් ජීවත්ව සිටිනවා යැයි කියන බලාපොරොත්තු බොඳ වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

දිවි ගලවා ගත් දහස් ගණනකටද නවාතැන්, ජලය සහ ආහාර නොමැතිවීම් මෙන්ම පවතින ශීත කාලගුණය ජීවත්වීම තවත් අසීරුකර තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

තුර්කියේ ජනාධිපතිවරයා මෙම භූමිකම්පාව හඳුන්වා තිබෙන්නේ “සියවසේ ව්‍යසනය” ලෙසිනුයි.

ලෝක බැංකුව මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැංවීම සහ භූමිකම්පාවලින් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ක්ෂණික මූල්‍ය ඇතුළුව තුර්කියට ඩොලර් බිලියන 1.78 ක ආධාරයක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා

නමුත් ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලයේ 100,000 හෝ ඊට වැඩි පිරිසකගේ ප්‍රයත්නයන් වාහන හිඟය සහ විනාශයට පත් වූ මාර්ගවලින් ගමන්කිරීමට ඇතිවන බාධා ඇතුළු සැපයුම් බාධක ගණනාවකින් අඩාල වී ඇති බවයි පැවසෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවූයේ ව්‍යසනයේ සම්පූර්ණ ප්‍රමාණය තවමත් අපගේ ඇස් ඉදිරිපිට දිග හැරෙමින් පවතින බවයි,.

සිරියාවේ පවතින දේශපාලන කණ්ඩායම් නිසා ආධාර බෙදාහැරීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර,දේශසීමාව හරහා වයඹදිග සිරියාවට ඉඩ්ලිබ්හි බාබ් අල්-හවා හරස් මාර්ගය හරහා මේවනවිට ගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

සිරියානු රජයේ හමුදා විසින් පාලනය කරනු ලබන ප්‍රදේශ හරහා ගමන් නොකර එක්සත් ජාතීන්ගේ ආධාර කලාපයට ළඟා විය හැකි එකම මාර්ගය වන්නේ මෙම හරස් මාර්ගය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා තවත් උපකාර ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර එක් දේශසීමා හරස් මාර්ගයකට පමණක් සීමා නොවී වඩා වැඩි මාර්ග කිහිපයක් හරහා සැපයුම් ලබා දීමට ඉඩ දෙන ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබෙනවා

එමෙන්ම “මෙය එකමුතුවේ මොහොතයි, මෙය දේශපාලනීකරණය කිරීමට හෝ බෙදීමට අවස්ථාවක් නොවන නමුත් අපට දැවැන්ත සහයෝගයක් අවශ්‍ය බව පැහැදිලියි ,”යනුවෙන්ද එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා සඳහන් කරනවා

භූකම්පනය නිසා තුර්කියේ පුද්ගලයින් 17,600 ක් මියගොස් ඇති අතර අවම වශයෙන් සිරියාවේ මරණ සංඛ්‍යාව 3,377 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබෙන්නේ දිවි ගලවා ගත් අයට හැකි ඉක්මනින් නවාතැන්, ආහාර, ජලය සහ ඖෂධ ලබා දිය නොහැකි නම් දෙවන මානුෂීය ව්‍යසනයක් සිදුවනු ඇති බවයි.

Share This