භූකම්පනයෙන් පසු සුන්බුන් අතරින් හමුවූ බිළිඳියක් -ඇයට සෙනෙහස දෙන්න දහස් ගණනක් සූදානම්

භූකම්පනයෙන් පසු සුන්බුන් අතරින් හමුවූ බිළිඳියක් -ඇයට සෙනෙහස දෙන්න දහස් ගණනක් සූදානම්

වයඹ දිග සිරියාවේ ඇතිවූ භූමිකම්පාවෙන් පසු කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට උපත ලැබූ දැරියක්ව රැකබලා ගැනීමට දහස් ගණනක් ජනයා ඉදිරිපත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇය ගලවා ගන්නා විටත්, පෙකණිවැලෙන් ඇගේ මවට සම්බන්ධ වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ .

ජින්ඩයිරිස් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු ඇගේ මව, පියා සහ ඇගේ සහෝදර සහෝදරියන් සිව්දෙනාම මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය තහවුරු කර සිටියා.

අරාබි බසින් ආශ්චර්යය යන අරුත ඇතිව ‘ආයා’ නමින් මෙම ළදරුවා නම් කර තිබෙනවා.

තවමත් රෝහලේ සිටින ඇයව රැකබලා ගන්නා ළමා රෝග විශේෂඥ වෛද්‍ය හනි මාරූෆ් සඳහන් කර තිබෙන්නේ ‘ඇයව රැගෙන එනවිට නරක තත්ත්වයකයි සිටියේ , ඇයගේ සිරුරේ තැලීම් තිබුණා, හුස්ම ගත්තේ අමාරුවෙන් ,නමුත් ඇය දැන් යහපත් තත්ත්වයේ පසුවෙනවා’ යනුවෙනුයි.

සමාජ මාධ්‍යවල දහස් ගණනක් දෙනා ඇයව රැකබලා ගැනීමට විස්තර ඉල්ලා ඇති අතර “මම කැමතියි ඇයව හදා වඩා ගෙන ඇයට යහපත් ජීවිතයක් ලබා දෙන්න,” යැයි එක් පුද්ගලයෙක් පවසා තිබෙනවා

කුවේට් රාජ්‍යයේ රූපවාහිනී නිවේදිකාවක් පවසා තිබෙන්නේ , “මම මේ දරුවා බලාගන්න සහ හදාගන්න ලෑස්තියි, නීතිමය ක්‍රියා පටිපාටියට අනුව මට ඉඩ .” දෙනවා නම්”,යනුවෙනුයි

එමෙන්ම රෝහල් කළමණාකරු, Khalid Attiah පවසන්නේ, දැරිය රැකබලා ගැනීමට අවශ්‍ය ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් තමාට ඇමතුම් රැසක් ලැබී ඇති බවයි.

Share This