ඉන්දියාවට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

ඉන්දියාවට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

ඉන්දියාවේ ආර්ථිකය පමණක් නොව එහි විදේශ ප්‍රතිපත්තියද, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාව ගත් තීරණයද මේවන විට දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

එමෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන අදානි සමූහ ව්‍යාපාරයද  විවේචනවලට ලක්වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒ අතරින් 2002 ගුජරාට් කෝලාහලයට එවකට මහඇමතිවරයා ලෙස මෝදි සම්බන්ධ බවට චෝදනා කරමින් BBC ලෝක පුවත් සේවය වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කර තිබෙනවා.

මෙම වාර්තා චිත්‍රපටයේ පළමු කථාංගය එනම්, India: The Modi Question 2021 තොරතුරු තාක්ෂණ නීතිවල හදිසි ප්‍රතිපාදන යටතේ හදිසි බලතල භාවිත කරමින් ඉන්දියානු මධ්‍යම රජය ස්ථීර ලෙස අවහිර කර ඇති බවත් එමගින් ඉන්දියාවට සිදුවන හානිය සම්පුර්ණයෙන්ම වැළකි නොයනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

අදාළ ගුජරාට සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බැවින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නිරවද්‍යතාව තහවුරු කර තිබියදී මෙම වාර්තා චිත්‍රපටය විකාශනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

2019 දී ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන ලද 2002 ගුජරාට් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ‘නානාවතී කොමිෂන් සභා වාර්තාවේ’ පවා සඳහන් වන්නේ “මෙම ප්‍රහාරයන් කිසිදු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ආනුභාවයක් හෝ උසිගන්වන ලද හෝ අනුබල දුන් බව පෙන්වීමට කිසිදු සාක්ෂියක් නොමැත.” යනුවෙනුයි.

එවැනි පසුබිමක් තිබියදී, මෙවැනි වීඩියෝ පටයක් නිපදවීම සම්බන්ධයෙන් හිටපු ඉන්දීය විදේශ ලේකම්වරයෙකු පවසා ඇත්තේ, “වෙනත් කිසිදු මිත්‍රශීලී රාජ්‍ය නායකයකු වෙත එවැනි විවේචන එල්ල වූ බවක් මට මතක නැත” යනුවෙනුයි.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව දීර්ඝ කාලීන සැලසුම් සහිත වෙළඳ ගිවිසුමකට එළඹීමට ආසන්නයේ සිටියදී මෙවැනි උත්සහයක නිරතවූයේ ඇයි ? ද යන්න ඉන්දියාවට ද ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.

මෙම වාර්තා චිත්‍රපටයට දැඩි විරෝධයක් පළ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පවසා ඇත්තේ, එය “විශේෂිත අපකීර්තිමත් ආඛ්‍යානයක් නිර්මාණය කිරීම සඳහා සකස් කරන ලද ප්‍රචාරක අපහාසයක්” බවයි.

ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ඉන්දියාවේ ශක්තිමත් ආර්ථිකය පිළිබඳව ප්‍රශංසා කර තිබියදීත්, ලොව ඇතැම් පාර්ශ්ව මේ වන විට ඉන්දියාව දෙස සෘණාත්මක ආකල්ප ව්‍යාප්ත කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මූල්‍ය අරමුදල විසින් පසුගිය සතියේ නිකුත් කළ නවතම ලෝක ආර්ථික දැක්මේ සඳහන් කර ඇත්තේ ඉන්දියාව මෙම වසරේදී (2023දී) සියයට 6.8ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇති බවයි.

එසේම මෙම වසරේදී සියයට 05ක පමණ ආර්ථික වර්ධනයක් ලඟාකර ගනු ඇතැයි අපේක්ෂිත චීනය සමග එක්ව, ඉන්දියාව 2023දී ලෝක ආර්ථිකයෙන් අඩක් පමණ පාලනය කරනු ඇති බවත් මූල්‍ය අරමුදල පෙන්වාදී තිබේරනවා.

එසේම ඉන්දියාව මේ වන විට ලොව ශක්තිමත්ම ආර්ථිකයන් අතර 05වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර 2028 වන විට ඇමරිකා එක්සත් ජනපදයට සහ චීනයට පමණක් පිටුපසින් ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වනු ඇති බවටද අනාවැකි පලවී තිබෙර්නවා.

මූල්‍ය අරමුදලේ IMF World Economic Outlook දත්ත පෙන්වාදෙන ආකාරයට ඉන්දියාව එම ජයග්‍රහණය අත්කරගනු ඇත්තේ, කළින් අපේක්ෂා කරන ලද කාලයට(2030) වඩා වසර දෙකකට පෙර වීමද විශේෂත්වයකි.

පසුගිය වසරේ දෙසැම්බර් 01 වනදා සිට, ඉන්දියාව ලොව ප්‍රබලම G20 සංවිධානයේ සභාපතිත්වය වසරක් සඳහා භාර ගත් අතර, ගෝලීය ආර්ථිකයේ සෞභාග්‍යය සහ වර්ධනය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් රැස්වීම් 200 කට අධික සංඛ්‍යාවක් මෙම වසරක කාලය ඇතුලත ඉන්දියාව සංවිධානය කරනු ඇති.

 

බටහිර ලෝකයේ ප්‍රහාරයට මෙලෙස ලක්වූයේ මෝදි පමණක් නොවේ.

ජනවාරි 24 දින, ඉන්දියාවේ අදානි සමූහය ඉලක්ක කර ගනිමින් වාර්තාවක් නිකුත් කර අතර එමගින් අදානි සමුහයේ ගිණුම් වංචා සහ තවත් අක්‍රමිකතා සිදුව ඇතැයි පවසමින් චෝදනා රැසක් එල්ල කළා.එම චෝදනා නිසා අදානි සමුහයට සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත සිය වෙළඳපොල ගනුදෙනුවලදී ඩොලර් බිලියන 60ක පමණ අලාභයක් සිදු වුණා.

Hindenburg වාර්තාව අදානි සමූහයේ ප්‍රමුඛතම සමාගම වන Adani Enterprises Ltd හි මෙතෙක් සිදු වූ විශාලතම මහජන කොටස් නිකුතුවට මොහොතකට පෙර සිදු වූ අතර ඒ අනුව වාර්තා නිකුත් කිරීමේ අරමුණ කොටස් නිකුතුව කඩාකප්පල් කිරීම බව චෝදනා එල්ල වුණා.

වාර්තාවේ ඉලක්කය වූයේ සමූහ ව්‍යාපාරය වුවද, ඉහළම සමාගම් 500ක් සහිත ඉන්දියානු කොටස් වෙළඳපොලට බලපෑම් සිදුවූ අතර ලෝකයේ ඉහළම කොටස් වෙළෙඳපොළ පහ තුළ ඉන්දීය කොටස් වෙළෙඳපොළට හිමිව තිබූ ස්ථානය අහිමි වුණා.
මේ අතර, යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා අරමුදල් රැස්කිරීමේ හැකියාව කපා හැරීමේ අරමුණින් ගෝලීය බලවතුන් රුසියාව වෙත සම්බාධක පැනවීමෙන් පසු, සමහර බටහිර රටවල් සහ ප්‍රධාන වශයෙන් බටහිර මාධ්‍ය ඉන්දියාව විශාල වට්ටමක් යටතේ රුසියානු තෙල් මිලදී ගැනීම විවේචනය කර තිබෙනවා.

එම විවේචනවලට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය බලශක්ති ඇමැති හර්දීප් සිං පූරි CNBC පුවත් සේවය වෙත පවසා ඇත්තේ, සිය ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් ඉන්දියාව ඕනෑම ලාභදායී වෙළඳපොලකින් ඉන්ධන මිලදී ගන්නා බවයි.

බටහිර මෙම ප්‍රහාරය හුදෙක් ඉන්දීය වෙළඳ හැකියාවන් පමණක් ඉලක්ක කර නැති බවත් . එමගින් සමස්ත ඉන්දියානු ප්‍රතිරුපයටම හානි සිදුකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

Share This