G20 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කෝටි 990 කට අධික මුදලක්

G20 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කෝටි 990 කට අධික මුදලක්

ඉන්දියාව තමන් හොබවන G20 සභාපතිධූරය යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත න්‍යාය පත්‍රය වෙනුවෙන් ඉන්දීය රජය රුපියල් කෝටි 990 කට අධික මුදලක් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දියාව 2022 දෙසැම්බරයේ G20 හි සභාපතිත්වය ලබා ගත් අතර, 2023 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත G20 සමුලුව සමඟ එම ධූර කාලය අවසන් වීමට නියමිතයි.

එම කාල සීමාව, G20 සංවිධානය වෙනුවෙන් යම් රටක් ඉහළම සත්කාරකත්වය දරන ලද කාලසීමාව ලෙස ඉතිහාසයේ ඉහළින්ම තැබීමට ඉන්දියාව අරමුණු කර ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

ඒ වෙනුවෙන් ඉන්දියාව මෙම වසර තුළ පමණක් සැලසුම් කර ඇති G20 කණ්ඩායමට සම්බන්ධ රැස්වීම්, සමුළු සහ සාකච්ඡා සංඛ්‍යාව 200කට අධිකයි.

ඉතිහාසයේ අඛණ්ඩව පැවති එක්සත් ජනපද-චීන උපායමාර්ගික තරගය, කොවිඩ්-19 වසංගතය සහ දේශගුණය ව්‍යසනයන් හමුවේ තවදුරටත් ලෝකයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව තහවුරු වී අවසන්ය.

ලොව තුළ නවතම බල කේන්ද්‍රයන් නිර්මාණය කිරීමට අවශ්‍ය ඉන්ධන, යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධය, උද්ධමනය සමග පෙර නොවූ විරූ ආහාර හා බලශක්ති අර්බුදයන් යන නවතම මාතෘකා විසින් අවුලුවා තිබෙනවා.

මෙම ගෝලීය කම්පන ගෝලීය දකුණේ රටවලට අසමාන ලෙස බලපාන අතර එම කාණ්ඩයට ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ දුප්පත් සහ අඩු සංවර්ධිත රටවල් ඇතුළත්වනවා.

විශේෂත්වය වන්නේ ඌණ සංවර්ධිත රටවල් පමණක් මෙම නව්‍ය අර්බුද රැල්ලට හසුව ගසාගෙන නොයෑම බවත් එම රැල්ලට ලොව මැදි ආදායම් ලබන ජාතීන් මෙන්ම යටත් විජිත ඉතිහාසයන් සහිත ගෝලීය උතුරටත් ඉහළින් පවතින එක්සත් ජනපදය, යුරෝපය, කැනඩාව ආදී සංවර්ධිත ජාතීන්ද වෙනත් මට්ටම් වලින් පවා හසුව තිබීම බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල් ආහාර හිඟය, ණය අර්බුද සහ අසමානතාවයේ හා දරිද්‍රතාවයේ ගැටළුවලට විශේෂයෙන් ගොදුරු වන බව නොරහසකි.එසේවෙද්දී සංවර්ධිත රටවල් මුහුණදෙමින් සිටින්නේ, ලොව පුරා සැපයුම් දාම බිඳවැටීම හේතුවෙන්, තම රටවලට පෞද්ගලිකව බලාපනු ලබන ඉන්ධන හිඟය මුලික කරගත් අර්බුදයන්ටය. එමනිසාම සංවර්ධිත රටවලට සෘජුවම උද්ධමනයට සහ ඒ නිසාම උද්ගතවන ඉහළ පොළී අනුපාත ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.

G20 සභාපතිධූරය හරහා, මෙම ගෝලීය දෙපාර්ශ්වයම ආමන්ත්‍රණය කිරීමට දැන් ඉන්දියාව කටයුතු කරමින් සිටින අතර කෙසේවෙතත් මෙහිදී ගෝලීය උතුරට සිය අර්බුද අභ්‍යන්තරිකව විසඳාගැනීමට ඉඩ සලසා දෙමින්, ගෝලීය දකුණ වෙනුවෙන් හඬ නැගීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බවත් ජාත්‍යන්තරයේ අදහසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම තත්ත්වය පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇත්තේ, “ගෝලීය අභියෝග බොහොමයක් ගෝලීය දකුණ විසින් නිර්මාණය කර නැත. එහෙත් ඒවා අපට වඩා ඔවුන්ට බලපායි” යනුවෙනුයි.

2022 වසරේදී පමණක්, ලොව රටවල් 50 කට අධික සංඛ්‍යාවක් මූල්‍ය ආධාර සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යොමු වුණා.

එහිදී විශේෂයෙන් මෙම කරුණ සම්බන්ධයෙන්, ඉන්දියාව ගෝලීය දකුණේ අවශ්‍යතාවන් ජය ගැනීමට සහ සිය G20 සභාපති ධුර කාලය තුළ තම හඬ ව්‍යාප්ත කිරීමට අරමුණු කර තිබෙනවා.

ඉන්දියාවට ගෝලීය දකුණේ නායකත්වය සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති අතර නිදහස ලැබීමෙන් පසු ගතවුණු වසරවලදී, ඉන්දියාව තුන්වන ලෝකයේ සහයෝගීතාවයට ප්‍රමුඛත්වය දෙමින්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ‘මහා බල දේශපාලනයේ’ පැටලී නොසිටීම සඳහා වැඩි ඉඩක් ලබාදීමට සහ ඔවුන්ට පුළුල් විකල්පයන් සහතික කිරීම සඳහා නොබැඳි ව්‍යාපාරයේදී පුරෝගාමී වුණා.

ඉන් දශක ගණනාවකට පසුවත්, 2023 ජනවාරි 12-13 දින, G20 නායකත්වය භාරගෙන මාසයකට මඳක් වැඩි කාලයක් ගතවන්නටත් පෙර, ඉන්දියාව ගෝලීය දකුණේ රටවල් 120 ක් එක් කරමින් සමුළුවක් ද කැඳවනු ලැබුවා.

G20 සංවිධානයේ කොටසක් නොවන නමුත් මෙලෙස ගෝලීය දකුණ සම්බන්ධ කර ගැනීම සිය අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් පවතින උත්සාහය පිළිබිඹු කරන වැදගත් පියවරක් වන අතර G20 සාමාජිකත්වයට ඔබ්බෙන් සිටින රටවලට පවා G20 වේදිකාව මත අවස්ථාවක් ඇති බව ඉන්දියාව පෙන්වා දී තිබෙනවා.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජයිශංකර් අවධාරණය කර ඇත්තේ , “ඉන්දියාව සංවර්ධිත ලෝකය සමඟ ඉතා ශක්තිමත් බැඳීමක් ඇති නිරිතදිග බලවතෙකු වන අතර, අන්තර්ජාතික අනුපිළිවෙලින් ඉහළට යන විට, සංවර්ධනය වෙමින් පවතින සහ සංවර්ධිත යන සියලුම කාණ්ඩවල රටවල විශ්වාසය දිනාගැනීමේ හැකියාවක් පවතී.” යනුවෙනුයි.

වත්මන් ලෝකය හමුවේ පවතින දැවැන්තම අභියෝගයක් වන යුක්රේන යුද්ධය අවසන් කරදීම වෙනුවෙන් මේ වන විටත් බටහිර බලවතුන් විසින් ඉන්දියාවට ආරාධනා කරමින් සිටින්නේ මෙම හැකියාව අවබෝධ කරගෙන සිටින නිසායි. මේ නිසාම ඉන්දියාවේ භූමිකාව අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලටද අනුගමනය කිරීමට හැකියාව ලැබෙන විශ්වාසදායක එකක් බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙවැනි පසුබිමක ඉන්දියාව G20 රැස්වීම් සහ සාකච්ඡා 200 කට වඩා සත්කාරකත්වය දැක්වීමට සැලසුම් කර ඇත්තේ, සිය නායකත්වය යටතේ ගෝලීය බලපෑම්සහගත විෂයන් සහ ගැටළු රැසක් ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගනිමිනුයි.

ඒ අනුව, ලොව යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය, සෞඛ්‍ය සේවා සඳහා මූල්‍යකරණය, මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති වෙනස්කම් සහ G20 ක්‍රියාකාරී කණ්ඩායම් අට යටතේ ලොව තිරසාර වර්ධනයක් සඳහා මූල්‍යකරණය වැනි ප්‍රධාන කරුණු පිළිබඳව G20 මූල්‍ය වේදිකාවේදී අවධානය යොමු කරනු ඇති.

. තවත් වේදිකාවක් විසින් දූෂණ විරෝධය, කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය සහ දේශගුණික විපර්යාස වැනි කරුණු දහතුනක් කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර, තවත් පිරිසක් කාන්තාවන් සවිබල ගැන්වීම සහ ව්‍යාපාරික නායකයන් අතර සහයෝගීතාවයෙන් පෞද්ගලික අංශයේ ඔවුන්ගේ නායකත්වය වේගවත් කිරීම අරමුණු කර තිබෙනවා.

පර්යේෂණ සහ නවෝත්පාදන මුලපිරීමේ එකතුව නමැති තවත් G20 වේදිකාවක් ඔස්සේ G20 සාමාජික රටවල් අතර පර්යේෂණ සහ නවෝත්පාදන සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ ශක්තිමත් කිරීම අරමුණු කර ඇති බව සඳහන් .

සමස්තයක් ලෙස, යුද්ධවලට සහ සිය පැවැත්ම සඳහා එකිනෙකා සමග සටන් කිරීමට වඩා ගෝලීය මට්ටමින් එකට වැඩ කිරීමේ අවශ්‍යතාවය සිය G20 සභාපතිධුරයේ න්‍යාය පත්‍රය තවදුරටත් ඉස්මතු කිරීමට ඉන්දියාව ඉලක්ක කර ඇති බව දැකගත හැකියි.

අද ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගයන් වන දේශගුණික විපර්යාස, ත්‍රස්තවාදය, වසංගත ජයගත හැක්කේ එකිනෙකා සමග සටන් කිරීමෙන් නොව එකිනෙකාට සහයෝගයදීමෙන් බව සිය සභාපතිත්වය භාරගන්නා ආරම්භක දේශනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබුණා.

ඒ අනුව ඉන්දියාවේ G20 සභාපතිධූරය ඔස්සේ, මානව කේන්ද්‍රීය ගෝලීයකරණය ඉලක්ක කරගත්, නව ලෝක පර්යායකට බලපෑම් කරන සහ ගෝලීය පශ්චාත් වසංගත ආර්ථික න්‍යාය පත්‍රය සකස් කරන, අන්තර් රාජ්‍ය ප්‍රතිපත්ති ඒකාබද්ධ කිරීම් හා සාකච්ඡා සඳහා දැවැන්ත පරිමාණ බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This