ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සහ ආධාරකරුවන් අතර ගැටුම් (VIDEO )

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සහ ආධාරකරුවන් අතර ගැටුම් (VIDEO )

පාකිස්ථානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී ආධාරකරුවන් ඔහුගේ නිවසින් පිටත සිටි පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර ඔවුන් ගල් හා ගඩොල් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පොලිසිය බලහත්කාරයෙන් නිවස ඇතුළට යාමට උත්සාහ කිරීමත් සමග ලාහෝර් නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ධූරයේ සිටියදී රාජ්‍ය දේපල විකුණූ බවට ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී තිබෙන අතර ඔහු පවසන්නේ මෙම නඩුව දේශපාලන අරමුණක් මත සිදු වූවක් බවයි.

පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට මීට පෙර උත්සාහ දරා ඇතත්, 70 හැවිරිදි ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙවර ඔහුව සිරගත කිරීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.

එමෙන්ම තම පක්ෂය ඉදිරි මැතිවරණවලට සහභාගි වීම වැළක්වීම සඳහා බලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවත්,”හිරේ හිටියත් නැතත් මගේ පක්‍ෂය දිනන එක නවත්වන්න එයාලට බැරි වෙන බවත්” ඔහු සඳහන් කරනවා.

රජයේ අමාත්‍ය Marriyum Aurangzeb කියා සිටියේ මෙම පියවර මැතිවරණය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, දූෂණ නඩු සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය අධිකරණ නියෝග පිළිපැදීම පමණක් බවත්ය.

Share This