ලොව පුරා රටවල් 131 කින් 90% කම අහිතකර වායු තත්ත්වයන් පවතින බවට අනාවරණයක්

ලොව පුරා රටවල් 131 කින් 90% කම අහිතකර වායු තත්ත්වයන් පවතින බවට අනාවරණයක්

ලොව පුරා රටවල් 131 කින් 90% ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව මාර්ගෝපදේශ ඉක්මවා ගොස් ඇති බව ස්විට්සර්ලන්ත වායු තත්ත්ව විශ්ලේෂණ තාක්‍ෂණ සමාගමක් වන IQAir ආයතනය පවසනවා.

එම ආයතනය විසින් 2022 වසරට අදාළව නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

IQAir ආයතනය රටවල් 131 ක සාමාන්‍ය වාතයේ ගුණාත්මකභාවය විශ්ලේෂණය කර ඇති අතර එහිදී ප්‍රදේශ සහ නගර 7,323 ක වායු තත්ත්ව දත්ත කර විශ්ලේෂණයට ලක් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, එස්තෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනාඩා, අයිස්ලන්තය සහ නවසීලන්තය යන රටවල් 6 ක් සහ ගුවාම් සහ පුවර්ටෝ රිකෝ ඇතුළු පැසිෆික් සහ කැරිබියන් ප්‍රදේශ 07 ක් වායු තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව මාර්ගෝපදේශයන්ට අනුකූලව පවතින බව සඳහන්.

ඉරාකය, පාකිස්ථානය, බහරේනය, බංග්ලාදේශය සහ ඉන්දියාව වායු දූෂණ මට්ටම ඉහළ රටවල් ලෙසයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

මධ්‍යම සහ දකුණු ආසියාවේ වඩාත්ම දූෂිත නගර 15න් 12ක් ඉන්දියාවෙන් වාර්තා වී තිබීම ද විශේෂත්වයක් වනවා.

මෑත දශක කිහිපය තුළ ලොස් ඇන්ජලීස් හි වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු වී ඇතත් 2022 වසරට අදාළව නිකුත් කළ එම නගරයේ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින අතර ඊට එම කලාපය තුළ අවස්ථා කිහිපයක දී හටගත් ලැව්ගිනි හේතු වී ඇති බවයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

මීට අමතරව අදාළ විශ්ලේෂණ කටයුතුවල නිරත වූ IQAir ආයතනයේ විද්‍යාඥයින් සඳහන් කරන්නේ ශරීරයට අහිතකර වන සියුම් වායු අංශු රුධිරයට ඇතුළු වී පෙණහලු පටක තුළට ගමන් කිරීමෙන් වායු දුෂණය ඉහළ මට්ටමක පවතින රටවල පුද්ගලයින් පෙනහළු පිළිකාවන්ට ගොඳුරු වීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම ඇදුම, හෘද රෝග සහ වෙනත් ශ්වසන රෝග ඇතුළු සෞඛ්‍ය ගැටලු ගණනාවකට ද අහිතකර වායු මට්ටම් ඉහළ යාම හේතුවන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

වායු දූෂණය ආශ්‍රිතව වාර්තා වන මරණවලින් 90% කට වඩා සිදු වන්නේ අඩු ආදායම්ලාභී සහ මැදි ආදායම් ලබන රටවලින් බවයි එම විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

වයස අවුරුදු 18ට අඩු දරුවන්, ගර්භනී කාන්තාවන් සහ මහලු වියේ පසුවන්නන් වායු දූෂණයට නිරාවරණය වීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් දරුණු තත්ත්වයට පත් වීමට වැඩි ඉඩකඩක් පවතින අතර විශ්ලේෂණයට ලක් වූ රටවල් සහ ප්‍රදේශවලින් 10% ක පමණ ජනතාව තම සෞඛ්‍යයට අවදානමක් ඇති නොවන වාතය ආශ්වාස කරන බව IQAir ආයතනය සිය වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Share This