යුක්‍රේන දරුවන් 16,221කට රුසියාව බලහත්කාරයෙන් කළ දේ

යුක්‍රේන දරුවන් 16,221කට රුසියාව බලහත්කාරයෙන් කළ දේ

රුසියාව විසින් යුක්‍රේන දරුවන් බලහත්කාරයෙන් තම පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ විමර්ශකයෝ පවසනවා.

යුක්‍රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසන්නේ යුක්‍රේන දරුවන් සිය ගණනක් නීති විරෝධී ලෙස රුසියාවට යැවූ බවට සාක්ෂි ඇති බවයි.

එමෙන්ම රුසියාව විසින් යුක්‍රේනයේ වෙනත් යුද අපරාධ සිදු කළ බවටද එම කොමිසමේ වාර්තාවක සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රෝහල්වලට හානි කිරීම්, වධහිංසා පැමිණවීම්, ස්ත්‍රී දූෂණ සහ මරා දැමීම් ඒවාට ඇතුළත් වන බවද සඳහන්.

යුක්‍රේන රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව රුසියාවට බලහත්කාරයෙන් රැගෙන ගිය ළමුන් සංඛ්‍යාව 16,221 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

“සමහර දරුවන්ට ස්ථිරවම රැඳී සිටිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම, රුසියානු පුරවැසිභාවය ලබා දීම සහ කැපකරු පවුල්වල දරුවන් ස්ථානගත කිරීම වැනි ප්‍රතිපත්ති මේ දරුවන් වෙනුවෙන් රුසියාව විසින් හඳුන්වා දී ඇති බවද වාර්තාවක සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙහිදී දෙමාපියන් සහ දරුවන් යන දෙදෙනා අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ බාධා රැසකට මුහුණ දීමට සිදුවන බවද එක්සත් ජාතීන්ගේ විමර්ශකයෝ පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් දෙමව්පියන් කොමිසමට පවසා තිබෙන්නේ රුසියාවේ පාලන ප්‍රදේශවලට යවන ලද ළමයින් අපිරිසිදු ඇඳුම් ඇඳගෙන සිටි බවයි .

එමෙන්ම ඇතැම් ආබාධ සහිත දරුවන්ට ප්‍රමාණවත් සැලකිල්ලක් සහ ඖෂධ නොලැබුණු බවත් දෙමව්පියන් පවසා තිබෙනවා

යුක්‍රේන දරුවන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම “ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් , එය යුද අපරාධයක්” බව එම වාර්තාව අවසානයේ සටහන් කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This