මිලියන 3.5ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රටක් (PHOTOS)

මිලියන 3.5ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රටක් (PHOTOS)

මිලියන 40ක පමණ ජනගහනයක් සිටින ඇෆ්ගනිස්ථානයේ මිලියන 3.5 ක ජනතාවක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා නීතිය බලාත්මක කිරීමේ කාර්යාංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොහොමඩ් ඕමාර් නැමැති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා.

පුල්-ඊ-සුක්තා පාලම යට, අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මිනිසුන් සිය ගණනක් බොහෝ විට දැක ගත හැකි බවයි ඔහු පවසන්නේ

” පාලම යට දුර්ගන්ධය අධිකයි, සුනඛයන් කුණු ගොඩවල් අතරින් කෑ ගසමින් එහෙට මෙහෙට යමින් ආහාර සොයමින් සිටිනවා .

පාළමට ඉහළින් රථවාහන යනවා. මම පාළම යටට ගිහින් මගේ යාළුවන්ව මුණගැහෙන්නෙ මත්ද්‍රව්‍ය ටිකක් ගන්න. මම මරණයට බය වුණේ නැහැ. කොහොමත් මරණය දෙවියන්ගේ අතේ තියෙන්නේ .

බොහෝ දෙනා තලෙයිබාන් සංවිධානය විසින් අල්ලාගෙන තාවකාලික පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා

ඔවුන් අපට කසයෙන් තළා පහර දීමට උත්සාහ කළා,මම පාලමෙන් පිටව යාමට අකමැති නිසා මගේ ඇඟිල්ල ඔවුන් කැඩුවා. මම විරුද්ධ වුණා. ඔවුන් අපිව බලෙන් එළියට දැම්මා.”

පුනරුත්ථාපන රෝහලේ ඇඳන් 1,000 ක් සහ දැනට රෝගීන් 3,000 ක් සිටිනවා.

මට ඕන කසාද බැඳලා පවුලක් හදාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. මේ දොස්තරලා හරිම කරුණාවන්තයි. එයාලා අපිට උදව් කරන්න උපරිම උත්සාහ කරනවා.” යනුවෙන්ද ඕමාර් පවසනවා

අධික තදබදය සහ සම්පත් හිඟකම තිබියදීත්, මෙම මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ට උපකාර කිරීම සඳහා ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට වෛද්‍යවරු කැපවී සිටින අතර මෙම රෝගීන් පිටව ගිය පසු නැවත යථා තත්ත්වයට පත් නොවන බවට සහතික කළ නොහැකි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර, ඇෆ්ගනිස්ථානය ආර්ථිකය බිඳවැටීමේ අද්දර සිටින අතර, ජාත්‍යන්තර සහයෝගය අහිමි වීම, ආරක්ෂක අභියෝග, දේශගුණය සම්බන්ධ ගැටළු සහ ගෝලීය ආහාර උද්ධමනය හේතුවෙන් පීඩා විඳින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

 

Share This