සුඩානයෙන් ඉවත් වූ රාජ්‍ය තාන්ත්‍රිකයින්

සුඩානයෙන් ඉවත් වූ රාජ්‍ය තාන්ත්‍රිකයින්

සුඩානයේ දරුණු සටන් දිගටම පවතින බැවින්, රටවල් කිහිපයක් කාර්ටූම් අගනුවරෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පුරවැසියන් ඉවත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රිකයන් මේ වනවිට රටින් පිටතට ගෙන ගිය බව ඔවුන් නිවේදනය කර තිබෙනවා

එමෙන්ම ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ද ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත් කිරීම් සිදු කළ අනෙකුත් රටවල් අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කාර්ටූම් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ වනවිට වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය ගුවන් මගින් රටින් පිට කිරීමට එක්සත් රාජධානියේ රජය කටයුතු කර තිබෙන අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට පුරවැසියන් සහ තවත් පිරිසක් රැගත් ගුවන් යානයක් ජිබුටි වෙත පැමිණි බව තහවුරු කර තිබෙනවා.

ලන්දේසි පුරවැසියන් ප්‍රංශ ගුවන් යානයකින් කාර්ටූම් වෙතින් පිටත් වූ අතර ඊයේ (23) සවස තවත් පුරවැසියන් ගුවන් මගින් පිටතට ගෙන ඒමට නෙදර්ලන්තය සූදානම් ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉතාලිය සහ ස්පාඤ්ඤය පුරවැසියන් ඉවත් කර ඇති අතර ස්පාඤ්ඤය ඉවත් කළ පුද්ගලයින් අතරට ආර්ජන්ටිනාව, කොලොම්බියාව, අයර්ලන්තය, පෘතුගාලය, පෝලන්තය, මෙක්සිකෝව, වෙනිසියුලාව සහ සුඩානයේ පුරවැසියන්ද ඇතුළත්වූ බවයි වාර්තා වන්නේ

කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ පැවසුවේ තම රජය සිය රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති බවයි

ගල්ෆ් රටවල මෙන්ම ඊජිප්තුව, පාකිස්ථානය සහ කැනඩාවේ පුරවැසියන් වන 150කට වැඩි පිරිසක් සෞදි අරාබියේ ජෙඩා වරාය වෙත මුහුදු මාර්ගයෙන් ඉවත් කර තිබෙනවා.

මේ අතර, සුඩානයේ අන්තර්ජාල සම්බන්ධතාවය මුළුමනින්ම පාහේ බිඳ වැටී ඇති බවට වාර්තා වී තිබෙන අතර එය කාර්ටූම් සහ අනෙකුත් නගරවල සිරවී සිටින අයට උපකාර සම්බන්ධීකරණයට බරපතල බාධාවක් විය හැකි වනවා.

Share This