සුඩානයේ සටන්වලින් 459කට වැඩි පිරිසක් මරුට – විරාමය නොතකා සටන් ඇවිළෙයි

සුඩානයේ සටන්වලින් 459කට වැඩි පිරිසක් මරුට – විරාමය නොතකා සටන් ඇවිළෙයි

පැය 72ක සටන් විරාමයක් පැවතිය ද සුඩානයේ සමහර ප්‍රදේශවල සටන් දිගටම පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Khartoum අගනුවරට යාබද නගරය වන Omdurman ප්‍රදේශයේ සටන් විරාමය අතරතුරදී ද රූපවාහිනී සහ ගුවන් විදුලි ගොඩනැගිලි අසල සටන් ඇති වූ බවයි bbc පුවත් සේවයේ වාර්තාකරුවෙකු සඳහන් කර තිබෙන්නේ.

Khartoum සහ Omdurman ප්‍රදේශවල ජනතාවට පිරිසිදු ජලය සහ ආහාර සොයා ගැනීමටත් ඒ වෙනුවෙන් මුදල් සොයා ගැනීමටත් අපහසු වී ඇති බව එම වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරනවා

මේ අතර සිකුරාදා අවසන් වීමට නියමිත සටන් විරාමය පැය 72කින් දීර්ඝ කිරීමට සුඩාන හමුදා ප්‍රධානියා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා

ගුවන් තොටුපළ සහ හමුදා මූලස්ථානය වැනි වැදගත් ස්ථාන පාලනය කිරීමට කණ්ඩායම් දෙකම සටන් කරන අතර අන්තර්ජාල පහසුකම් නොමැති බවත් දුරකථන සම්බන්ධතා ද බිඳ වැටි ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

සටන ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 459 ක් මිය ගොස් ඇතත් සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ

සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු රටවල් කිහිපයක් සිය වැසියන් සුඩානයෙන් ඉවත් කර ගෙන ඇති අතර ඒ අනුව රටවල් කිහිපයක පුද්ගලයින් 1,600 කට වැඩි පිරිසක් බෝට්ටුවකින් සෞදි අරාබියට පැමිණි අතර ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් දෙකේම සියලුම පුරවැසියන් මේ වන විට සුඩානය හැර ගොස් ඇති බවද එම රටවල් තහවුරු කර තිබෙනවා

Share This