පාකිස්ථානයේ කාන්තාවන් හා දරුවන් වින්දිතයින් වෙයි

පාකිස්ථානයේ කාන්තාවන් හා දරුවන් වින්දිතයින් වෙයි

ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ පාකිස්ථානයේ වර්ධනය වන ආහාර අනාරක්ෂිත භාවයේ මූලික ගොදුරු බවට කාන්තාවන් සහ ගැහැණු ළමයින් පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පවසන්නේ ඒ අතරින් බහුතරයක් ග්‍රාමීයව වෙසෙන පිරිස් බවයි.

ගෝලීය සාගින්න දර්ශකයේ රටවල් 116ක් අතරින් පාකිස්ථානය දැනට 92 වැනි ස්ථානයේ පසුවනවා.

එරට Baluchistan, Khyber-Pakhtunkhwa සහ Sindh යන දිස්ත්‍රික්කවල සමීක්ෂණයක් සිදු කළ IPCINFO හි වාර්තාවක් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රදේශ සියල්ලම ආහාර අනාරක්ෂිතභාවය, මන්දපෝෂණය සහ දරිද්‍රතාවයේ ඉහළ ව්‍යාප්තියකට මුහුණ දෙමින් ඇති බවයි.

පාකිස්ථානයේ කෘෂිකාර්මික අංශය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය18.9% ක්.

එම ක්ෂේත්‍රය සඳහා කාන්තාවන් ඇතුළු ශ්‍රම බලකායෙන් 42.3% ක් දායක වන බවයි වාර්තා වන්නේ.

රටේ ජනගහනයෙන් අඩක් තවමත් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර ඔවුන් තිරිඟු, කපු, උක්, සහල්, අඹ සහ රට ඉඳි ඇතුළු කෘෂිකර්මාන්තය මත කෙලින්ම යැපෙන පුද්ගලයින් වනවා.

එහෙත්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනය සහ ආහාර මිල අඛණ්ඩව ඉහළ යාම මෙන්ම ආනයනික සීමා හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටළු හේතුවෙන් පාකිස්ථානය විශාල ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This