රුසියාව ළමුන් 150දෙනෙකු පැහැරගත් බව යුක්‍රේනය පවසයි

රුසියාව ළමුන් 150දෙනෙකු පැහැරගත් බව යුක්‍රේනය පවසයි

රුසියාව අත්පත් කරගෙන සිටින යුක්‍රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් ප්‍රදේශයෙන් යුක්‍රේන ජාතික ළමුන් 150ක් පමණ පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේනයේ ජාතික ප්‍රතිරෝධක මධ්‍යස්ථානයට අනුව, ජුනි 8 වනදා ලුහාන්ස්ක් හි ස්ටාරොබිල්ස්ක් දිස්ත්‍රික්කයෙන් ළමුන් නීති විරෝධී ලෙස රුසියාවේ දකුණු කරචේ-චර්කේස් කලාපයේ මධ්‍යස්ථාන දෙකකට ගෙන ගොස් තිබෙනවා.

යුක්‍රේනයේ, රුසියාව අත්පත් කර‍ගෙන සිටින ප්‍රදේශවල සිටින සමහර ළමයින්ට වෛද්‍ය පරීක්‍ෂණ කිරීමට බල කෙරෙන බවත්, සමත් නොවන අය ප්‍රතිකාර සඳහා බව පවසමින් රුසියාවට යවන බවත් ජාතික ප්‍රතිරෝධක මධ්‍යස්ථානය පවසනවා.

යුක්‍රේන බලධාරීන් පවසන්නේ 2022 පෙබරවාරි මාසයේ ආක්‍රමණය ආරම්භ වූ දා සිට ළමුන් 19,000 කට වැඩි පිරිසක් ප්‍රදේශවලින් රැගෙන ගොස් ඇති බවයි.

යුක්‍රේනයේ සිට රුසියාවට නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් යුද අපරාධවලට වගකිව යුතු බවට චෝදනා කරමින් මේ වසර මුලදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සියලු චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This