“Industry 2023” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹෙයි

“Industry 2023” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹෙයි

“Industry 2023” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (22) ආරම්භ වුණා.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන, වෙනත් රජයේ ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධාන කර ඇති මෙම ප්‍රදර්ශනය 28 වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 20ක් නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 750 කින් සමන්විත වනවා.

කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, නවෝත්පදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම, දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියලු දෙනා ඒකරාශී කර ගැනීම, නව කර්මාන්තවලට විශාල අවකාශයක් නිර්මාණය කර ගැනීමටත් මෙම ජාතික ප්‍රදර්ශනය මගින් අවස්ථාව ලබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 

Share This