දකුණු කොරියානුවන් ලහි ලහියේ ලුණු මිලදී ගන්නේ ඇයි?

දකුණු කොරියානුවන් ලහි ලහියේ ලුණු මිලදී ගන්නේ ඇයි?

ජපානය න්‍යෂ්ටික අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීමට පෙර දකුණු කොරියානුවන් ලුණු මිලදී ගැනීමට ඉක්මන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

න්‍යෂ්ටික බලාගාරයකින් මෙට්‍රික් ටොන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් වූ පිරිපහදු කළ විකිරණශීලී ජලය මුහුදට බැහැර කිරීම හේතුවෙන් දකුණු කොරියානු සාප්පු හිමියන් මුහුදු ලුණු සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට උත්සුක වී තිබෙනවා.

2011දී භූමිකම්පාවකින් සහ සුනාමියකින් පහර වැදීමෙන් පසු ටෝකියෝවට උතුරින් පිහිටි ෆුකුෂිමා බලාගාරයේ හානියට පත් ප්‍රතික්‍රියාකාරක සිසිල් කිරීම සඳහා එම ජලය ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

දින නියම කර නොමැති වුවද දැවැන්ත ගබඩා ටැංකිවලින් විකිරණශීලි ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ඉක්මනින් අපේක්ෂා කරන බවයි ජපානය දැනුම් දී ඇත්තේ.

ජලයෙන් වෙන් කිරීමට අපහසු හයිඩ්‍රජන් සමස්ථානිකයක් වන ට්‍රිටියම්වල අංශු අඩංගු වුවද බොහෝ සමස්ථානික ඉවත් කිරීම සඳහා එය පෙරා ඇති බව පවසමින් ජපානය ජලය ආරක්ෂිත බවට නැවත නැවතත් සහතික කර තිබෙනවා.

දකුණු කොරියානු ධීවර බලධාරීහු පවසන්නේ විකිරණශීලීතාව ඉහළ යාම සඳහා ලුණු ගොවිපළවල් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි. දකුණු කොරියාව මේ වනවිටත් ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ ෆුකුෂිමා ආසන්නයේ මුහුදු ආහාර තහනම් කර තිබේ.

ජපානයේ ජලය මුදා හැරීමේ සැලසුම චීනය ද විවේචනයට ලක් කර ඇති අතර, එහි විනිවිදභාවය නොමැති බවට චෝදනා කරමින් එය සාගර පරිසරයට සහ ලොව පුරා මිනිසුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වන බව පෙන්වා දී තිබෙනවා.

Share This