ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  වත්මන් තත්ත්වය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්ත්වය

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයත් සමග මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු රැසක් වාර්තා කර තිබෙනවා.

එම වාර්තා අතරින් සැකසුණු විශේෂාංගයකි මේ.

පසුගිය මාසයේ අවසන් සති අන්තයේ ආණ්ඩුව සිය දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේය. මෙමගින් බැංකුවල තැන්පත්කරුවන්ට සහ විශ්‍රාමිකයන්ගේ අරමුදල්වලට බලපෑමක් වෙතැයි මේ වන විට සමාජයේ බහුතරයක් දෙනා අතර විශාල බියක් නිර්මාණය වී ඇත. මෙම දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය සාමාන්‍ය ජනතවට එතරම් විෂය නොවන මාතෘකාවකි. ඔවුන්ට තේරෙන එකම කාරණය වන්නේ, විවේචකයන් පෙන්වාදෙන, සිය තැන්පතු සහ විශ්‍රාම අරමුදල්වලට යම් බලපෑමක් සිදුවනවාය යන්න පමණකි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF ඇතුළු අරමුදල් මගින් මිලදී ගෙන ඇති භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවන නව පොළිය 2025 දක්වා 12% දක්වා අඩුකිරීමටත් ඉන් අනතුරුව 9 % දක්වා අවම පොළියක් ගෙවීමටත් පියවර ගන්නා බව ජුනි 29 ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේය. ඔහු සඳහන් කළේ මේ තුළින් සේවකයින්ගේ දැනට පවතින EPF ශේෂයට බලපෑමක් නොවන බවයි. විශ්‍රාම ගන්නා සේවකයන්ට කිසිදු බලපෑමකින් තොරව විශ්‍රාම යෑමේදී EPF අරමුදල් ලබා ගත හැකි බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකුවලට හෝ මිලියන 52ක් වන තැන්පතුකරුවන්ට බලපෑමක් නොවන බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඇත්තෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනුවෙන් ශ්‍රී ලංකා රජය මේ හඳුන්වාදෙන්නේ කුමක්ද? රජය ණය ලබා ගැනීම සඳහා භාවිත කරන ප්‍රධාන ණය උපකරණ වන්නේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරය. රජය සිය අයවැය හිඟය පියවා ගැනීම සඳහා විදේශීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද ණය ලබා ගෙන තිබේ. මූළිකව ගත් කළ ඕනෑම ණයක් ලබාදීමේදී කොන්දේසී පවතියි. එනම් ණය ලබා දීමේදී ණය වාරිකය, පොලී අනුපාතය, ගෙවන කාලය යන කරුණු සම්බන්ධයෙන් කොන්දේසි පවතියි. එම ණය කොන්දේසි ව්‍යුහය යළි වෙනසකට ලක්කෙරෙන්නේ නම් එය ප්‍රතිව්‍යුගතකරණය යනුවෙන් හැඳින්වෙයි. මෙහිදී පොළී අනුපාත වෙනස් කිරීම හෝ අඩු කිරීම, ණය ගෙවීමට දී ඇති කාලය දීර්ඝ කිරීම, ණය වටිනාකමින් කොටසක් කපාහැරීම සිදුවිය හැකිය. ණය මුදලින් කොටසක් කපා හැරීම ‘හෙයාර් කට්’ යනුවෙන් හඳුන්වනු ලබයි.

එහිදී ලබාගෙන ඇති ණයක, ව්‍යුහය වෙනස් කිරීමේදී ණය වටිනාකම, පොළී අනුපාතය හා ගෙවන කාල සීමාව වෙනස් කළ හැකිය. පසුගිය කාලසීමාව තුළ රජය ණය පොළිය සහ වාරික ගෙවීමට රටේ මුළු ආදයමෙන් 70%කට වඩා වැය කර තිබිණි.
ඒ අනුව ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය තුළින්, ණය යළි ගෙවීමට හැකි පරිදි ප්‍රශස්ත මට්ටමකට ණය ප්‍රමාණය අඩු කර ගැනීමට රජය අපේක්ෂා කරන බව පැහැදිළිය. එහිදී රජය ණය කප්පාදු කිරීමක් නොකරන්නේ නම්, ණය පොළිය අඩු කිරීමක් සිදුකළ හැකිය.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමෙන්, බැංකු හා මුල්‍ය ආයතනවල ස්ථීර තැන්පත් කරුවන්ට මෙන්ම EPF/ETF අරමුදල්වලට බලපෑමක් වේදැයි පෙරකී ලෙස බොහෝ පාර්ශව බිය පළ කරයි. ණය කපා හැරීමකින් තොරව පොළිය අඩු කළහොත් එය සේවක භාරකාර අරමුදල සහ සේවා නියුක්තකයින්ගේ භාර අරමුදලේ ආදයම අඩුවීමට හේතු විය හැකිය. මෙම බිය සාධාරණ බව පෙන්වන අනාවරණයක් පසුගියදා වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ අධ්‍යයනයකදී අනාවරණය කර තිබිණි. එම අධ්‍යයනයේ අවසන් හෙළිදරව්වට අනුව, රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල විශාලතම තනි හිමිකරු ලෙස සේවක අර්ථසාධක අරමුදල (EPF) හඳුනාගෙන තිබේ. රටේ විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) 2022 අවසානයේ බැඳුම්කරවල ප්‍රමුඛයා ලෙස රැඳී සිටී. ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන යටතේ වැඩිම බලපෑමකට ලක්වන කොටසක් ලෙස සේවක අර්ථසාධක අරමුදල හඳුනාගෙන ඇත. මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවේ දත්ත උපුටා දක්වමින් වෙරිටේ රිසර්ච් ප්‍රකාශ කර ඇත්තේ, බලපත්‍රලාභී වාණිජ බැංකු රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට 39ක් රඳවාගෙන ඇති බවය.

රට මුහුණදී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය ප්‍රතිකර්මය හැර වෙනත් විකල්පයක් නොමැති බවය. එම විකල්පය ක්‍රියාත්මක නොකළහොත්, පසුගිය වසර ආරම්භයේදී මෙන් නැවතත් පෝලිම් සහ ප්‍රචණ්ඩත්වය පිරි අරගලකාරී කාලයකට මුහුණදීමට ජනතවට සිදුවනු ඇති බවට බියක් ආණ්ඩුව ජනතාව තුළ නිර්මාණය කර ඇත. එමනිසා IMF විසින් නිර්දේශ කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම ජනතාව මුහුණදිය යුතු බව ආණ්ඩුවේද නිර්දේශයයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර රටේ ණය බර අඩුකරගන්නා ලෙස IMF කොතනකවත් ප්‍රසිද්ධියේ හෝ නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවක් තහවුරු කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජයට රජයට තිබේද යන්න ප්‍රශ්නයකි. IMF විසින් නිර්දේශ කර ඇත්තේ, පළමුව ශ්‍රී ලංකාව විසින් සිය විදේශීය ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා කර, ඔවුන්ගෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් සහනයක් ලබාගන්නා ලෙසයි. ඒ අනුව රජය ඒ වෙනුවෙන්ද ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ රටවල් මේ වන විට සිය ණය සඳහා සැලකිවයුතු සහනයක් ලබාදීමට එකඟත්වය පළකර ඇත(ඉන්දියාව දැනුම්දී ඇතැයි පැවසෙන්නේ ශ්‍රී ලංකාවේ ණයවලට වසර 12ක සහන කාලයක් ලබාදීමට සුදානම් බවයි). මෙලෙස, බහුතරයක් පාර්ශ්වයන් සාධාරණ සහනයක් ලබාදීමට කැමැත්ත පළකර ඇතත්, රජය මෙම විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ එක් ස්ථානයකදී බරපතල සිරවීමකට ලක්ව සිටී. එනම්, මෙම ක්‍රියාවලියට සම්බන්ධවන ප්‍රධානම පාර්ශ්වය වන, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය තොගයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට (ඩොලර් බිලියන 14කින් බිලියන 7කට වැඩි ප්‍රමාණයක්) හිමිකම් කියන චීනයේ වැඩපිළිවෙලයි.

එක් අතකින්, දේශීය ණය බර යම් ප්‍රමාණයකින් හෝ අඩුකර චීනයෙන් ලැබෙන සහයෝගය තුලනය කරගැනීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

Share This